කැලණි සරසවියේ සිසුන් 16ක් අත්අඩංගුවට

කැලණියේ CCTV කැමරාවලට හානි කළ සිසුන් 16ක් අත්අඩංගුවට

by Staff writer 27-02-2020 | 5:47 PM
COLOMBO (News 1st) : කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, ඔවුන් කිරිබත්ගොඩ පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි. ඉන් 4 දෙනෙකු සිසිටිවි පද්ධතියට හානි කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ අය බව හඳුනා ගෙන තිබේ. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතියට හානි කිරීමෙන් සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 2.3 ක් බව එහි මාධ්‍ය අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, CCTV කැමරා 19 කට සිසුන් හානි කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් 40 ක් පමණ හඳුනා ගෙන තිබේ. ඔවුන් සම්බන්ධයෙන් වන විනය පරික්ෂණ අද සනාථන සභාවට යොමු කිරීමෙන් අනතුරුව සිදුකරන බව විජයානන්ද මහතා වැඩිදුරටත් පැවසී ය. මේ අතර එම කැමරා පද්ධතිවලට හානි කළ පුද්ගලයින්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් උපදෙස් දී ඇති බවයි.