English
தமிழ்
කර්තෘ Staff writer
27 Feb, 2020 | 9:40 pm
ලංකාවේ හැම වැදගත් තැනකට ම ඇතුළුවෙන්න පාරවල් දෙකක් තිබෙනවා. හරි පාරයි. හොර පාරයි. පාර්ලිමේන්තුවටත් එහෙම යි. ඒත් ඔය පාරවල් දෙකේ ම යන්න පාවිච්චි කරන්නේ අපේ ම ඡන්ද. 2020 මහමැතිවරණයට සූදානම් වෙන වෙලාවේ මේ ගැන අපි තේරුම් ගැනීම වැදගත්.
1978 සම්මත කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් ලියවිල්ලේ නැත්නම් ඔරිජිනල් 78 කන්ස්ටිටියුෂන් එකේ මේ හොරපාර ගැන සඳහනක් තිබුණෙ නැහැ. ව්‍යවස්ථාව සම්මත කරලා අවුරුදු 10කට පස්සෙ 1988දී හඳුන්වා දීපු දාහතර සහ පහළොව කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා තමයි පාර්ලිමේන්තුවට යාහැකි හොරපාර කැපෙන ජාතික ලයිස්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කෙරෙන්නේ.
අපි දන්නවා පාර්ලිමේන්තුවට මහ මැතිවරණයකින් මන්ත්‍රීවරු 225ක් තේරී පත්වෙනවා. දිස්ත්‍රික්ක පදනමෙන් බැලුවහම වැඩි ම මන්ත්‍රීවරු පිරිසක් තේරී පත් වෙන්නෙ කොළඹ දිස්ත්‍රික්කයෙන්. 2015 දී නම් ඒ් සංඛ්‍යාව 19ක්. ගම්පහෙන් 18ක්. කුරුණෑගලින් 15ක්. ඒ්ත් ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරු 29ක් ම පාර්ලිමේන්තු එනවා. ඒ කියන්නෙ වැඩිම මන්ත්‍රීවරු තේරෙන දිස්ත්‍රික්කයටත් වඩා 10ක් වැඩියෙන්. තව විදිහකින් කියනවා නම් අපේ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 13%ක් විතර තේරෙන්නේ ජාතික ලයිස්තු හරහා.
තවත් විකාරූපී සංසිද්ධියක් තියෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ ගැන තියෙන කිසිම කොටසක ජාතික ලයිස්තුවක් ගැන කියවෙන්නේ නැහැ. අඩුම ගානේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට අදාළ ප්‍රධාන පනත විදිහට සැලකෙන 1981 අංක 1 දරන පනත සහ ඒ පනතෙ සංශෝධනවලවත් එහෙම ජාතික ලයිස්තුවක් ගැන නැහැ. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) වගන්තිය ඇතුලෙ මීට අදාළ යම් සඳහනක් තියෙනවා. ඒ වගන්තියේ තියෙන්නේ මෙහෙමයි.
දිස්ත්‍රික්කවලින් තේරෙන 196 දෙනාට අමතරව ජාතික මට්ටමෙන් ඒ ඒ පක්ෂ නැත්නම් ස්වාධීන කණ්ඩායම් ලබන ඡන්ද අනුපාතය අනුව, ඉතිරි මන්ත්‍රී ධූර 29න් ඒ ඒ පක්ෂයට, නැත්නම් කණ්ඩායමට හිමි වන ආසන සඳහා මන්ත්‍රීවරු තෝරා ගැනීමට, මැතිවරණයට තරග කරන පක්ෂ සහ කණ්ඩායම් විසින් නම් කළ පුද්ගලයින්ගේ ලයිස්තු ඉදිරිපත් කළ යුතු බව.
ඒ ලයිස්තු මහමැතිවරණ දිස්ත්‍රික් නාම යෝජනා වගේ ම පක්ෂවල මහලේකම්වරු මැතිවරණ කොමිසමට ලබා දිය යුතුයි. මැතිවරණ කොමිසම ඒ ලයිස්තු ගැසට් මගින් පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වීමට පෙර ප්‍රකාශයට පත්කරනවා.
සරළව ගත්තහම ජාතික මට්ටමෙන් පත් කරන මන්ත්‍රීවරු 29 පත්විය යුත්තේ ඒ ලයිස්තුවල නම් සඳහන් පුද්ගලයින්ගෙන්. ඒක තේරුම්ගන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැනවත් පාර්ලිමේන්තු ක්‍රමය ගැනවත් විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ.
ඒත් ප්‍රායෝගිකව මොකද වෙන්නේ? අපි 2015 මහමැතිවරණයෙන් පස්සෙ ඇති වෙච්ච තත්ත්වය විතරක් උදාහරණයකට සලකා බලමු.
ඊට පෙර මැතිවරණවලදිත් අඩුවැඩි වශයෙන් තිබුණෙ මේ තත්ත්වයමයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 මහමැතිවරණයෙන් පස්සෙ තමන්ට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධුර 12න් 9කට ම ලයිස්තුවේ නම් නැති අය පත් කර එව්වා. ජනතා විමුක්ති පෙරමුණ තමන්ට ලැබුණු මන්ත්‍රීධුර දෙකටම ඒ වගේ නම් නැති අය පත්කළා. ඉලංගෙයි තමිල් අරසු කච්චි නැත්නම් ටීඒන්ඒ එක තමන්ට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධූර දෙකටම පත්කළේ ලයිස්තුවේ නම් නැති අය. එක්සත් ජාතික පක්ෂය තමන්ට ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රීධුර 13න් තුනකට ඒ වගේ නම් නැති අය පත් කළා.
මේ ක්‍රියාදාමයෙ තියන නරකම දේ මොකක්ද? පක්ෂයකින් දිස්ත්‍රික්කයක තරග කරලා ඇතැම් අපේක්ෂකයෝ පරාජයට පත්වෙනවා. වඩාත් නිවැරදිව කියනවා නම් ජනතාව තීරණය කරනවා මේ මේ අය පාර්ලිමේන්තුවට යාම නුසුදුසුයි කියලා. දැන් මේ පිරිස පරාජයෙන් පස්සේ පක්ෂයේ ජාතික ලයිස්තුවට රිංගනවා. රිංගලා හොර පාරෙන් පාර්ලිමේන්තු එනවා.
ඒ විතරක් නොවෙයි. වෙන පක්ෂයකින් දිස්ත්‍රික්කයකට තරග කරලා පැරදුන කෙනෙක් තවත් පක්ෂයක ජාතික ලයිස්තුවකින් පාර්ලිමේන්තු යන හැටිත් අපි දැකලා තියෙනවා. උදාහරණය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. කිසිම දිස්ත්‍රික්ක ලයිස්තුවකින් තරග නොකරපු ජාතික ලයිස්තුවෙත් නොහිටපු සමන් රත්නප්‍රිය පහුගිය දවසක අහසින් පාර්ලිමේන්තුවට පාත් වුණා.
මේක වෙන්නේ කොහොමද? මේ අය දේශපාලන පක්ෂ නායකත්වයන් විසින් තමන්ගේ බලතල පාවිච්චි කරලා ප්‍රජාත්න්ත්‍රවාදයේ මූලික හරය උල්ලංඝනය කරලා පාර්ලිමේන්තුවට හොර පාරෙන් යැවීම. මේකෙ අරමුණ පක්ෂ නායකත්වයට කීකරු පක්ෂ නායකත්වයට නැටවිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවේ ගාල් කිරීම වෙන්න පුළුවන්. ඒ මන්ත්‍රීවරු මහජන නියෝජිතයින්ට වඩා පක්ෂ නායකත්වයේ සුවච නියෝජිතවරු. 225න් 29ක් මේ වගේ අය වෙන්න ඉඩ තියෙන පරිසරයක් ඇතුළෙ පාර්ලිමේන්තුවම පාර්ලිමේන්තු ක්‍රමයට අභියෝගයක් වෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණ පනතෙ 64(5) වගන්තියේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක්ගේ අසුනක් හිස්වෙන අවස්ථාවක එය පිරවිය යුතු විදිහ සඳහන් කරලා තියෙනවා. ඒ සඳහනේ පුරප්පාඩුව පිරවිය යුත්තේ ජාතික ලයිස්තුවේ නම සඳහන් වී ඇති ඉතිරි පිරිසගෙන් කියලා විශේෂයෙන් සඳහන් වෙලා නැහැ. මේ ගුලෙන් තමයි හැම පක්ෂයක් ම පොදුවේ රිංගන්නේ. මේක ජනතා පරමාධිපත්‍ය බලය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.
2020 මහමැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවලට තමන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැපවෙනවා නම් මේ වරද නොකර ඉන්න බවට දැම්ම ම ප්‍රතිඥාවක් දෙන්න පුළුවන්. ඒ ප්‍රතිඥාව පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කරලා තහවුරු කරන්න පුළුවන්. එතනින් නොනැවතී පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය අලුත් පාර්ලිමේන්තුව රැස්වෙන අවස්ථාවේ, අඩුපාඩු සකස්කරලා සංශෝධනය කරන බවට පොරොන්දු වෙන්න පුළුවන්. මේක රටේ ප්‍රජාතන්ත්‍ර්‍රවාදයට හිතකර පහසුවෙන් කළ හැකි කාර්යයක්.
අපේ දේශපාලන පක්ෂවලට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න අවශ්‍ය නම් පක්ෂ ඇතුළෙ ඡන්දෙට ඉදිරිපත් වන විද්වතුන් වෘත්තීයවේදීන් ඉන්නව නම් ඔබටයි මේ අභියෝගය.
18 Jan, 2021 | 03:49 PM
16 Jan, 2021 | 05:06 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS