කටුපොල් වගාව නතර කරන්න ජනපතිගෙන් උපදෙස්

කටුපොල් වගාව වහාම නතර කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්

by Staff writer 27-02-2020 | 6:02 PM
COLOMBO (News 1st) : කටුපොල් වගාව වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ගාල්ල උඩුගම, හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීයි. එහිදී ප්‍රදේශවාසීන් පැවසුවේ කටුපොල් වගාව හේතුවෙන් ප්‍රදේශයේ දැඩි ජල හිඟයක් මතුව ඇති බවයි. ඒ පිළිබඳව විධිමත් පාරිසරික අධ්‍යයනයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත. පරිසරයට හානියක් වන්නේ නම් කටුපොල් වගාවෙන් ලැබෙන ලාභයෙන් ඵලක් නොවන බව ද එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මේ අතර රබර් වගාව නගා සිටුවීම සඳහා රබර් ආනයනය වහාම නතර කිරීම පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. නව තාක්ෂණය යොදා ගනිමින් ඉංග්‍රිසි, ගණිත හා විද්‍යා විෂයන් ඉගැන්වීමට පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා එම රැස්වීමේදී පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.