ලුණු වතුර බොන මාතර සහ කළුතර වැසියන්..

ලුණු වතුර බොන මාතර සහ කළුතර වැසියන්..

by Staff writer 26-02-2020 | 9:22 PM

COLOMBO ( News 1st ) -  ජල සම්පාදනයෙන් සැපයෙන නලවලින් ලුණු වතුර බොන පාරිභෝගිකයින් අතරට, මාතර නිල්වලා ගඟ ආශ්‍රිත ජනතාවත් එක්ව සිටී.

පෑදි දියට ලුණු වතුර මිශ්‍රවීමේ ගැටලුවට මුලින්ම මුහුණ දුන්නේ කළුතර ජනතාවයි. මෙවන් තත්ත්වයක් ඇති වූයේ පසුගිය ගංවතුර අවස්ථාවක ජල බැසයාම සඳහා අදූරදර්ශී ලෙස කළු ගඟේ මෝය කට විශාල කිරීම මෙන්ම ගඟේ සිදුකරන වැලි ගොඩ දැමීම නිසා බව ජනතාව චෝදනා කරයි. වැලි ගොඩදැමීම හේතුවෙන් මුහුදු මට්ටමට වඩා ගඟේ මට්ටම පහළ ගොස් ඇති අතර විශාල කෙරුණු මෝය කට මගින් අධික ලෙස ගඟ තුළට මුහුදු ජලය ගලා ඒම සිදු වේ. නලවලින් එන ලුණු වතුර වෙනුවට බීමට සුදුසු ජලය ලබාදෙන ලෙස ඉල්ලා කළුතර බස් නැවතුම අසළ අද විරෝධතාවක් පැවැත්විණි. මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සි ජයලාල් මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමකදී ඔහු පැවසුවේ, ගැටලුවට මුහුණ පා ඇති ප්‍රදේශවල ජල ටැංකි 943ක් රඳවා බවුසර් 29 ක් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවයි. දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, පවතින මෙම ගැටලුවට ස්ථීර විසඳුමක් ලෙස කොළඹ මෝදර සිට කෙත්හේන දක්වා ජලය රැගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවයි. එය ලබන අගෝස්තු මාසයේදී අවසන්වීමට නියමිත ය. මේ අතර මාතර ආශ්‍රිත ජල පාරිභෝගිකයන්ට ද කාලයක සිට ලුණු වතුර බීමට සිදුව තිබේ. මුහුදු ජලය නිල්වලා ගඟට එක්වීම වැළැක්වීම සඳහා මේ වනවිට වැලි කොට්ට යොදා බාධක ඉදිකර ඇතත් එය එතරම් සාර්ථක නැත. මේ අතර පවතින රස්නය මහනුවර මාරස්සනට තදින්ම බලපා තිබේ. මේ නිසා කියුල්ළිඳ ,බෝලෑබේ , බූටාවත්ත යන ගම්මානවල පවුල් දහසකට අධික ගොවි ජනතාව ජලය සොයා දැඩි වෙහෙසකර මෙහෙයුමක නිරත වේ. යල මහ දෙකන්නයේම වී වගා කළ ගොවීන් දැන් එළවළු වගාවට සීමා වී ඇතත් නියඟයට ගොදුරු වෙමින් තිබේ.