‍උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

රුසියාවේ හිටපු තානාපති යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 26-02-2020 | 6:28 PM

COLOMBO ( News 1st ) -  රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ‍උදයංග වීරතුංග මහතා ලබන මස 11 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනක මුදලක් අයුතු ලෙස උපයාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. උදයංග වීරතුංග මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය. සැකකාර උදයංග වීරතුංග මහතා කර ඇති වරද පොදු දේපල පනත යටතට ගැනෙන රුපියල් 25,000 කට වැඩි අලාභයක් බව පෙන්වාදෙමින් සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අධිකරණයට අද සහතිකයක් ඉදිරිපත් කරනු ලැබුවේ ය. එම සහතිකය අනුව සැකකරුට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා නඩුව විභාග කර අවසන් වනතුරු සැකකාර උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කරන බව කියා සිටියේ ය. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් වසර 5 කට අධික කාලයක් විමර්ශනය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පවිත්‍ර දයාරත්න මහතා ඉදිරි විමර්ශන කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දන්වා අධිකරණ ලේඛකාධිකාරීවරයා මගින් නියෝගයක් යැවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. එම නිගධාරීන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සඳහා යොදවන ලෙසට ද පසුගිය 19 වැනිදා තම අධිකරණය විසින් වැඩබලන පොලිස්පතිවරයාට පිස්කල් නිලධාරීන් මගින් යවන ලද නියෝගය භාරදුන් බවට මේ දක්වා තම අධිකරණයට වාර්තා වී නොමැති බව විවෘත අධිකරණය හමුවේ පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර සිටියේ ය. මෙහිදී සැකකාර උදයංග වීරතුංග මහතාගේ ඥාතියෙකු වන නෙලුම් දුමින්ද මනම්පේරිය නැමැත්තා නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කරන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. නමුත් අධිකරණය එම ඉල්ලීමට අවසර ලබාදී නොමැත. උදයංග වීරතුංග මහතාට ලිඛිත ඇප ඉල්ලුම් පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ ය. නඩුව ලබන මස 11 වැනිදා යළි කැඳවීමට නියමිත ය.