ඔලිම්පික් උළෙලත් අවලංගු වන ලකුණු

කොරෝනා නිසා ඔලිම්පික් උළෙලත් අවලංගු කිරීමට සිදුවන ලකුණු

by Staff writer 26-02-2020 | 5:42 PM

News 1st - මේ වනවිට ලොව පුරා අවධානයට ලක්ව තිබෙන කොවිඩ් 19 හෙවෙත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සමාජිකයෙකු දැක්වූ අදහස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට සිදුවන බලපෑම සැලකිල්ලට ගනිමින් ජපානයේ දේශීය ඉහළ පෙළේ පාපන්දු තරග ලබන මාසය දක්වා අත්හිටුවන ලද පසුබිමකදී ය. මේ වනවිට ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසයේ අවධානය ඉදිරි මාස කිහිපයේදී පහව නොගියහොත් එළැඹෙන ජූලි මස 24 වනදා ආරම්භවීමට නියමිත මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට හෝ කල් තැබීමට බලධාරීන්ට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරග ඉසව් කාල සටහන පසුගියදා නිවේදනය කළ අතර ලබන ජූලි මස 24 වනදා ආරම්භ වන ක්‍රීඩා උළෙල දින 17 ක් පැවැත්වෙනු ඇති. මේ වනවිට ජපානය තුළ කොරෝනා ආසාදිතයින් ගණන 161 දක්වා ඉහළ ගොස් තිබෙන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 1 කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වසංගතයක් ලෙස හැඳින්විය හැකි නමුත් එය ගෝලීය අධි වසංගත තත්ත්වය ලෙස හැඳින්වීමට කල් වැඩි බවයි.