by Staff writer 26-02-2020 | 8:19 PM
COLOMBO ( News 1st ) - කොරියාවේ සිට අවුරුදු නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද තීරණය කළේ ය.
කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගණන 25,000 කට ආසන්න ය.
අද පැවති කොරෝනා වෛරසය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කම්ටු රැස්වීමේදී ඉතාලිය හා මැද පෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අවුරුදු නිවාඩුවට මෙරටට පැමිණීමේදී ගතයුතු ක්‍රියාමාර්ග ද අවධානයට ලක් විය.
කණ්ඩායම් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිළිබඳව මෙරට නියෝජිතයන් හරහා තොරතුරු කළින් ලබා ගැනීමටත් කොවිඩ් 19 ආසාදිතයන්ට ප්‍රතිකාර දීම සඳහා වෙන්කර ඇති රෝහල් 17 ට අමතරව කොළඹ සහ දකුණ, මධ්‍යම, වයඹ පළාත්වල පූර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 4 ක් ස්ථාපනය කිරීමට ද තීරණය කෙරිණි.
මේ වනවිට ජුනි 24 සිට අගෝස්තු 09 දක්වා ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල අවලංගු කිරීමේ සූදානමක් ද පවතින බව වාර්තා වේ.
දැනට ජපානයෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 4 කි.
නමුත් ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11000 ට වැඩි පිරිසක් හා ක්‍රීඩාලෝලීන් ලක්ෂ ගණනක් පැමිණෙන අවස්ථාවක බැරෑරුම් තත්ත්වයක් මතුවිය හැකි බවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සැක පළ කරනු ලැබ තිබේ.
කොරෝනා බිය මේ වනවිට යුරෝපාකරයට ද පැතිර අවසන් ය.
ඉතාලියෙන් දැනට වාර්තා වී ඇති අසාදිතයින් ගණන 300 කි.
මියගිය සංඛයාව 11 කි.
ඕස්ට්‍රේලියාව , ක්‍රොඒෂියාව සහ ස්විට්සර්ලන්තයේද කොරෝනා ආසාදිතයින් සිටින බවට තහවුරු වී තිබේ.
ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා හා තවත් මන්ත්‍රීවරයෙක් ද කොවිඩ් 19 ආසාදිතයන් ලැයිස්තුවේ සිටී.
අමෙරිකා සම්බාධක හමුවේ තමන්ට මුඛ ආවරණ පවා නියමිත පරිදි සැපයිය නොහැකි බවට ඉරාකය මැසිවිලි නගයි.
දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1262 කි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් මේ වනවිට ලොව පුරා මියගිය සංඛ්‍යාව 2700 ඉක්මවා තිබේ.
ආසාධිතයන් සංඛ්‍යාව 80,000 ට වැඩි ය.