කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කොදෙව්වන් අසරණ කළ ශ්‍රී ලංකාවට එක්දින තරගාවලියේ ජය

by Staff writer 26-02-2020 | 10:22 PM

COLOMBO ( News 1st ) -  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පෙර ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.

ඒ, තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 161 විශිෂ්ට ජයක් අද වාර්තා කිරීමත් සමගිනි. ලකුණු 345ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 184ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවේදී සහභාගී වන 100 වැනි එක්දින ක්‍රිකට් තරගය මෙන්ම කුසල් ජනිත් පෙරේරා සහභාගීවන 100 වැනි එක්දින ක්‍රිකට් තරගය මෙය වේ. කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 9 කදී බිඳ වැටිණි. අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ තුන්වැනි කඩුල්ලට ලකුණු 239ක සබඳතාවක් ගොඩනැගූ අතර එය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු තුන්වැනි කඩුල්ලට ගොඩගැනූ හොඳම සබඳතාවයි. එමෙන්ම හම්බන්තොට ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක ඕනෑම කඩුල්ලක් සඳහා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම සබඳතාව සහ එක්දින තරගයක තුන්වැනි කඩුල්ල සඳහා පිතිකරුවන් දෙදෙනෙකු සිව්වැනියට ගොඩනැගූ හොඳම සබඳතාව ලෙසද එය වාර්තා අතරට එක් විය. දෙවැනි එක්දින ශතකය වාර්තර කළ අවිශ්ක ලකුණු 127 ක් රැස් කළ අතර මෙන්ඩිස් දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 119 ක් රැස් කළේ ය. තිසර පෙරේරා ලකුණු 36ක් රැස් කළ අතර අල්සාරි ජෝසප් ලකුණු 57ට කඩුලු 3යි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 345 කි. එක් 6 පහරක් හෝ නොමැතිව එක්දින තරගයකදී ලකුණු 300 සීමාව පසු කළ පළමු අවස්ථාව ද මෙය වේ. ශායි හෝප් සහ සුනිල් ඇම්බ්‍රිස් බටහිර ඉන්දීය කොදෙව් පිළිතුරු ඉනිම ආරම්භ කළ අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 64කි. ඇම්බ්‍රිස් ලකුණු 17ක් සහ ශායි හෝප් ලකුණු 51 ක් රැස් කළ අතර, ඩැරන් බ්‍රාවෝ ලකුණු 16කට දැවී ගියේ ය. විදුලි ආලෝක කුළුණක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් තරගය තාවකාලිකව මදවේලාවකට නැවැත්වීමට ද සිදුවිය. මෙම තරගය අතරතුර ක්‍රීඩාංගණයෙන් පිටත නොසන්සුන් තත්ත්වයක් ද ඇති විය. ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට පැමිණි ක්‍රීඩාලෝලීන් පිරිසක් ඉවත් කිරීමට ආරක්ෂක අංශ පියවර ගැනීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ඇති විය.