COLOMBO ( News 1st ) - රටේ ජනතාවට අත්‍යාවශ්‍ය විදුලිය පිටුපස ඇති මාෆියාව ගැන අපි දිගින් දිගටම කරුණු අනාවරණය කර තිබේ.
අප යළිත් මේ පිළිබඳව සංවාදයට ලක් කරන්නේ පවතින කාලගුණ තත්ත්වයට මුවාවී සිදුකරන අතයට ගනුදෙනු ගැන ඔබ දැනුවත් විය යුතු නිසා ය.
සීමිත පිරිසක් අසාමාන්‍ය ලාභ ලබාගනිද්දී මහජන මුදලින් නඩත්තුවන විදුලි බල මණ්ඩලයේ පාඩුව මේ වසරේදී රුපියල් බිලියන 100 ඉක්මන බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.
විදුලි බල අමාත්‍ය මහින්ද අමරවීර මහතා
විදුලිබල මණ්ඩලයේ පාඩුව බිලියන 100 ඉක්මවනවා මේ අවුරුද්දේ. බිලියන. දැනෙනවද අපි කොච්චර අමාරු තත්ත්වෙකද ඉන්නේ කියලා. ඉතාමත් වගකීමෙන් කියනවා කිසිඳු ආකාරයක විදුලි කප්පාදුවක් කරන්නේ නෑ . අපි අඛණ්ඩව මේ පෑයු කාලේ වුනත් විදුලිය ලබාදෙනවා . ඒ වගේ මිල පොඩ්ඩක් වැඩිවෙන්න පුලුවන්. ආණ්ඩුවට පාඩු වෙන්න පුලුවන්. අපි පහුගිය අවරුදු 5 බැලුවා මේ කාලය තුළ එක විදුලි බලාගාරයක් හදලා නෑ. දැන් මේ යන විදිහට ආය හදන්න බැරිවෙයිද කියලා සැකේකුත් තිබුණා. මම ඒ වෙනුවෙන් තීන්දු ගත්තා. දැනට අපි ලෑස්ති කරලා තියනවා ලංකාවේ පළවෙනි එල්.එන්.ජී බලාගාරය පරිසර හිතකාමී විදුලි බලාගාරය අපි මේ අවුරුද්දේ ආරම්භ කරනවා. කෙරවලපිටියේ එක අවුරුදු 2න් ඉවරවෙන්න තියෙන්නේ. ඊළගට අපි තව විදුලි බලාගාර කිහිපයක් පටන්ගන්නවා. අපි 2023 විදුලිබල මණ්ඩලේට ලාභ ගේනවා.
ඇමතිවරයාගේ අරමුණ නම් හොදයි.
ඒත් විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ ඇයි දැයි සොයා බැලීමට ඇමතිවරයාට වගකීමක් නැද්ද?
අමරවීර ඇමතිවරයා කියන මෙගවොට් 300 එල්.එන්.ජී බලාගාරය පහුගිය අවුරුදු කිහිපයේම ජනතාවට පෙන්වූ හීන ව්‍යාපෘතියකි.
මේ බලාගාරයට එල්. එන්.ජී දෙන්න තවමත් ඒවා සැපයීමට ගබඩා කිරීමට පහසුකමක් අපේ රටේ නොමැත.
ඒ නිසා මේ බලාගාරය හදන්නේ මුලින් ඩීසල් නැත්නම් දැවි තෙල්වලින් ක්‍රියාත්මක කර පසුව එල්.එන්.ජීවලට මාරුවීමට හැකි ආකාරයට ය.
කෙලවරපිටියේ මේ බලාගාරය ඉදිකිරීමේ ටෙන්ඩරය දිගින් දිගටම වංචා සිදු වූ අතිශය දූෂිත ක්‍රියාවලියකි.
පහුගිය ආණ්ඩුවේ අවසාන කාලයේ මේ බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමට ලබාදෙන්න තීරණයක් ගැනිණි.
ඒ තීරණය ගැනුණේ සුදුසුකම් ලැබූ රටට වාසිදායක, පළපුරුදු සමාගම් ගණනාවක් ටෙන්ඩර් ක්‍රියාවලියේදී සැලසුම් සහගත ලෙස කපා හරිමින් ය.
අවසානයේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම මේ බලාගාරයෙන් නිපදවන විදුලිය ඒකකයක ගාස්තුව අනෙක් සමාගම්වලට වඩා අඩුවෙන් පෙන්වා තිබුණේ බදු ඇතුළත් කර නොකිරීමෙන් ය.
මේ ටෙන්ඩර් ක්‍රියාවලිය දැනටමත් පාර්ශව ගණනාවක් අභියෝගයට ලක්කර තිබෙද්දී බලාගාරය ඉදිකරන බවට අමාත්‍යවරයා දෙන පොරොන්දුව කුමක්ද?
තවත් බරපතල සැක උපදවන කරුණක් වන්නේ දැනටමත් ක්‍රියාත්මක වන කෙලවරපිටියේ ඇති මෙවැනි ද්විත්ව චක්‍ර බලාගාරයේ ක්‍රියාවලියයි.
කෙරවලපිටිය මෙගාවොට් 300 ක මේ විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් නමින් අලුතින් සමාගමක් ආරම්භ කළේ 2006 වසරේදී ය.