ඇමති දිනේෂ් ඇතුළු දූත පිරිස ජිනීවා යයි

ඇමති දිනේෂ් ඇතුළු දූත පිරිස ජිනීවා යයි

by Staff writer 25-02-2020 | 7:36 AM
COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ සබඳතා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු රජයේ දූත පිරිස අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගියේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය ඊයේ ආරම්භ විය. ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ යෝජනාවලින් ඉවත්වීමේ තීරණය මෙවර සැසිවාරයේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් දැනුම්දීමට නියමිතයි. මෙවර සැසිවාරය ඊයේ ආරම්භ වුණේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා සහ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැෂ්ට්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි. හෙට ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේදී අවධානය යොමු කිරීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරුන් ඇතුළු නියෝජිත කණ්ඩායමක් මෙවර සැසිවාරයට සහභාගි වේ. ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දකවමින් සම්මත කල 30/1 සහ 40/1 යන යෝජනාවලින් ඉවත්වීම පිළිබඳව දිනේෂ් ගුනවර්ධන අමාත්‍යවරයා බදාදා මානව හිමිකම් කවුන්සිලය අමතා ප්‍රකාශයක් කරනු ඇති.