සිසුන් අධ්‍යාපන චාරිකාවලට යොමු කිරීමේදී නව නීති

පාසල් ළමුන් අධ්‍යාපන චාරිකාවලට යොමු කරීමේ නව නීති ඇතුළත් චක්‍රලේඛයක්

by Staff writer 25-02-2020 | 7:16 AM
COLOMBO (News 1st) : පාසල් ළමුන් අධ්‍යාපන චාරිකා සඳහා යොමු කරවිමට අදාළව නව නීති ඇතුළත් චක්‍රලේඛයක් සියලු පාසල් ප්‍රධානීන් වෙත යොමු කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, කන්තලේ ගෝමරංකඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් පාසල් සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය සමගයි. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීමේදී දුර ප්‍රමාණය සම්බන්ධයෙන් නව නීති ඇතුළත් කිරීමට පියවර ගන්නා බවයි. ඊට අමතරව සිසුන් නැරඹීමට අපේක්ෂිත ස්ථාන, නවාතැන් ගන්නේ නම් එම ස්ථාන සහ අදාළ දුර ප්‍රමාණ පිළිබඳව ද සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. මෙම සංශෝධන සහ නව නීති කිහිපයකින් යුත් අදාළ චක්‍ර ලේඛය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු විදුහල්පතිවරුන්ට යොමු කරනු ඇති. මේ අතර කන්තලේ ගෝමරංකඩවල මැදවච්චිය වැවේ දිය නෑමට ගොස් පාසල් සිසුන් සිව් දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට , තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවට පස්සර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ නියොජිතයෙකු සහ පළාත් අධ්‍යපන දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ඇතුළත් ය. එම කමිටුව අද  ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීම සඳහා සිද්ධිය සිදු වූ ස්ථානය නිරීක්ෂණයට නියමිතයි. මෙම විමර්ශනයෙන් අනතුරුව සකසන වාර්තාව දින 14 ක් ඇතුළත ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලබා දීමට නියමිතයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ අධ්‍යාපන චාරිකාවක් ගිය, හාලිඇල විද්‍යා විද්‍යාලයේ සිසුන් සිව් දෙනෙකි.