ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගේ විශ්වාසය

පළමු තරග ජයෙන් කණ්ඩායමේ විශ්වාසය ගොඩ නැගුණා - ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු

by Staff writer 25-02-2020 | 10:00 PM

COLOMBO ( News 1st ) -  කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව සෑහීමකට පත්විය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග හෙට පැවැත්වෙන 2 වැනි එක්දින තරගය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය. තරගය හෙට සවස 2 .30 ට හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. ඒ සඳහා සහභාගී වන දෙරටේම ක්‍රීඩකයින් අද පුහුණු සැසිවල නිරත විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා
ක්‍රීඩක විවේකාගාරය තුළ කණ්ඩායම් හැගීම උපරිමයෙන් තියෙනවා. අපි මේ දියත් කරලා තියෙන ක්‍රියාවලිය තවත් ශක්තිමත් කිරීමට පළමු තරගයේ ජයග්‍රහණය ගොඩක් ඉවහල් වුණා. එම ජයග්‍රහණය අසීරු ජයග්‍රහණයක් වුණත්, ඒ තුළින් කණ්ඩායමට විශ්වාසයක් ගොඩනැගුණා. පළමු තරගයේදී නව පන්දුවෙන් නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා අති විශිෂ්ඨ ලෙස පන්දු යැව්වා. දග පන්දු යවන්නන් පිළිබඳ ද සෑහීමකට පත් වෙන්න පුලුවන්. ඔවුන් හැමවිටම ලකුණු ලබා ගැනීමේ වේගය පාලනය කර ගත්තා. පන්දු රැකීම ද සාර්ථකයි. පිතිකරණය අතින් යම් මට්ටමකින් ඉදිරියට ඇවිල්ලා තියෙනවා දැක ගන්න පුලුවන්.
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව එක් කඩුල්ලකින් ජය ගත්තේ ය. දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 3 ක් ඇතුළත් වේ.