කොරෝනා වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩිය

කොරෝනා වසංගතයක් ලෙස ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩියි

by Staff writer 25-02-2020 | 7:24 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය මැඩපැවැත්විය හැකි බැවින් එය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට තවමත් කල් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්රෝස් ඇඩනොම් පවසන්නේ ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ වෛරසය පැතිරයාම පිළිබඳ දැඩි අවධානය යොමුව ඇති බවයි. මැදපෙරදිග කලාපය ඇතුළු ලොව පුරා රටවල් කිහිපයක කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිරයාම ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමකදී ලෝක සෞඛ්‍ය සංවිධානය මේ බව ප්‍රකාශ කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනියෙන් පැමිණෙන සංචාරකයන්ට වෛරසය වැළඳී ඇති දැයි නිරීක්ෂණය කිරීමට බ්‍රසීලය කටයුතු යොදා ඇති බවයි . ඉතාලියේ කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව හතක් දක්වා ඉහළ යාමත් සමග බ්‍රසීලය මෙම පියවර ගත්තේ ය. මේ වනවිට වෛරසය ආසාදනය වූ ඉතාලි වැසියන් 27 දෙනෙක් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. ඉතාලියේ වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 220 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් උතුරු දිග ඉතාලියේ ප්‍රදේශ රැසක් වසා දැමිණ. ලොම්බාර්ඩි සහ වෙනේටෝ ප්‍රදේශවල සියලු පාසල්, විශ්වවිද්‍යාල, කෞතුකාගාර, සිනමා ශාලා සතියක කාලයක් සඳහා වසා දමා ප්‍රසිද්ධියේ රැස්වීම ද තහනම් කෙරිණ. ඉතාලි බලධාරීන් සඳහන් කළේ, වෛරසයෙන් මෙතරම් දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි කිසිවිටෙකත් නොසිතූ බවයි. ඉතාලි කොටස් වෙළඳපොළේ කොටස් අගය ද 5% කට වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණේ වසර හතරකින් පසු කොටස් වෙළඳපොළට සිදුවු ප්‍රභලතම බලපෑම එය බව තහවුරු කරමිනි. ඉරානයේ වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 61 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරට වෛරසයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 12 කි . ඉරාකයෙන් කොරෝනා වෛරෙසය ආසාදනයවූවකු පිළිබඳ මුල්වරට වාර්තා වූ අතර ඉරාන ජාතිකයකු වන ඔහු ඉරාකයට ඇතුළු වී තිබුණේ , ඉරාක - ඉරාන දේශ සීමා වසා දැමීමට පෙරයි. ඉරාකය ඊයේ කුවේටයේ ඉල්ලීම මත කුවේට් - ඉරාක දේශසීමාව ද වසාදැමිණ. දකුණු කොරියාවේ කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 833 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ නව ආසාදිතයන් 231 දෙනෙකු වාර්තා වීමෙන් පසුවයි.