තීන්දුවෙන් පසු හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක රෝහලට

සුපිරි තරු ගොදුරු කර ගත් හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකට අධිකරණ තීන්දුව අසා සිදුවූ දේ..

by Sagarika Chathumali 25-02-2020 | 12:22 PM
COLOMBO (News 1st) :  සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදක හාර්වි වෙයින්ස්ටයින් එල්ල වූ ස්ත්‍රී අපයෝජන චෝදනා සම්බන්ධයෙන් වරදකරු බවට නිව්යෝර්ක් අධිකරණයක් තීන්දු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙය ප්‍රසිද්ධ පුද්ගලයින් අතින් ලිංගික අපයෝජනයන්ට ලක්වූ කාන්තාවන් ගෙනගිය #MeToo movement ලද විශිෂ්ට ජයග්‍රහණයක් බවයි. නිව්යෝර්ක් අධිකරණය 67 හැවිරිදි වෙයින්ස්ටයින් වරදකරු කර ඇත්තේ, තුන්වන ගනයේ දූෂණ චෝදනා සහ පළමු ගනයේ ලිංගික අපරාධ චෝදනා යටතේයි. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවිය හැකි බරපතළ ගනයේ ලිංගික චෝදනාවලින් ඔහු නිදහස් කෙරුණ ද ඔහුට එරෙහිව වසර 25ක උපරිමයක් දක්වා සිරදඬුවම් නියම වීමට හැකියාව පවතී. දින 5ක් පුරා සිදු කළ කරුණු විමසීම්වලින් පසු කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 7 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් විසින් වෙයින්ස්ටයින්ට එරෙහිව මෙම තීන්දුවට එළඹ තිබේ. මාර්තු 11 වන දා දඬුවම් නියම වන තුරු හිටපු චිත්‍රපට නිෂ්පාදකවරයා රිකර්ස් දූපතේ පිහිටි බන්ධනාගාරයට රැගෙන යාමට නියමිතව තිබුණ ද තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හටගත් පපුවේ වේදනාවක් හේතුවෙන් වෙයින්ස්ටයින් නිව්යෝර්ක්හි රෝහලකට ඇතුළත් කෙරිණ. තමාට එල්ල වූ සියලු චෝදනා වෙයින්ස්ටයින් ප්‍රතික්ෂේප කළ නමුත් හිටපු සහය නිෂ්පාදිකාවක වන මිමි හේලෙයි (2006) සහ හිටපු නිලි ජෙසිකා මෑන් (2013) අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවන්ට ඔහු වරදකරු වන බව අධිකරණය තීන්දු කළේ ය. නීතිඥයින් අධිකරණය හමුවේ, වෙයින්ස්ටයින් හඳුන්වා දුන්නේ, සිය බලතල අනිසි ලෙස භාවිත කරමින් කාන්තාවන් ගොදුරු කරගත් පුද්ගලයෙකු ලෙසයි. ඒ අනුව වහාම ඔහු බන්ධනාගාරගත කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේ ය. වෙයින්ස්ටයින්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් කරනු ලැබුවේ, 2017 වසරේදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතයි. මෙම අනාවරණයන්ගෙන් පසුව ඔහුට එරෙහිව චෝදනා රැසක් මතුවන්නට වූ අතර එහිදී වෙයින්ස්ටයින්ට හොලිවුඩයෙන් ඉවත්වන්නට ද සිදු විය. 2017 වසරේදී විමර්ශන ආරම්භ වූ නමුත් 2018 වසර වන තුරුත් ඔහුට එරෙහිව චෝදනා ගොනු වූයේ නැහැ. මෙවන් පසුබිමකදී 2018 වසරේ මැයි මාසයේදී පොලීසියට භාරවීමට වෙයින්ස්ටයින්ට සිදුවිය. ග්වෙන්ත් පැත්‍රෝ, උමා තර්මන්, සල්මා හයක් යන ප්‍රසිද්ධ නිළියන් ඇතුළුව ඔහු විසින් ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන කාන්තාවන් සංඛ්‍යාව 80කට අධික ය. මීට අමතරව ඔහුට එරෙහිව දුෂණ සහ ලිංගික හිංසන චෝදනාවන්ට අදාළ තවත් නඩුවක් ලොස් ඇන්ජලීස් අධිකරණයක් හමුවේ මේ වනවිට විභාග වෙමින් පවතී. හාවි වෙයින්ස්ටයින් ,පල්ප් ෆික්ෂන් , ගුඩ්විල් හන්ටින්, ශේක්ස්පියර් ඉන් ලව් සහ ද කිංග්ස් ස්පීච් ආදී ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට රැසක් නිර්මාණයට දායක වූ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකවරයෙකි. මේ අතර මාධ්‍යට අදහස් දක්වමින් වෙයින්ස්ටයින්ගේ නීතිඥවරයා පවසා ඇත්තේ, ඉතා ඉක්මනින් නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.