බූට් එක ගොඩයන්න යන්න පොයින්ට් එකක් කරගන්න

බූට් එක මැරෙන්න නෙමෙයි ගොඩයන්න පොයින්ට් එකක් කරගන්න

by Chathurika Jayasundara 24-02-2020 | 6:57 PM

COLOMBO ( News 1st ) -

 

ජීවිතේ පුදුමාකාරයි. උපන් දා ඉදන් එකට ජීවත් වුණ අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ගේ ආදරය, සෙනෙහස තරාදියක එක පැත්තකට දාලා අතරමැදදී මුණගැහෙන ආගන්තුක කොල්ලෙක් කෙල්ලෙක්ගේ ආදරය තරාදියේ අනිත් පැත්තට දාලා කිරලා බලන මොහොතක් ඔබට ජීවිතේ හමුවෙලා ඇති. අවාසනාවකට ඒ මොහොත මඟ හරින්න අපි කාටවත් බෑ . තරාදියේ බර වැඩිවෙන්නේ මොන පැත්තෙද කියලා මං අහන්නේ නෑ.

ෆේස්බුක් එකේ උඩට පහළට යන ගමන් දැක්කා අමුතු පෝස්ට් එකක්. “ හුස්ම දැන් ඉතින් නැවතියන් . මට හුගක් මහන්සියි ” අහිංසක අම්මා තාත්තා අපි වෙනුවෙන් නොවිඳිනා දුක් විඳින්නේ දරුවෙකුගේ මළගමක් බලන්න ද?

කාලෙන් කාලෙට එන රැළි අතර දැන් තියෙන හොඳම රැල්ල තමන්ගේ මරණේ මාර්කට් කරගෙනම මැරෙන එක. ඇයි මේ තරම් මෝඩ . අම්මා තාත්තා දහදුක් විඳලා අපිව හැදුවේ ඒ දෙන්නට කලින් අපි මැරිලා යනවා දකින්න ද. ආදරේ වෙනුවෙන් ජීවිතේ පූජා කළ පමණින් අපි කවුරුත් ජාතික වීරයෝ වෙන්නේ නෑ. වැලන්ටයින් දවස වාගේ දවසක් ද වෙන් වෙන්නෑ. වළාකුළු සිඹින ප්‍රේමයේ පාරිශුද්ධ වස්තුව මෙන් ටජ්මහලක් අපි වෙනුවෙන් ඉදි වෙන්නේ නෑ. අප කළ යුත්තේ සුරංගනා ලෝකවලින් මිදී යථාර්තයට මුහුණ දී පොළොවේ පය ගසා ජීවත් වීමයි.

ආදරේ යනු, ලබා ගැනීමම නොවන අතර නොලැබෙන විට වියරු වැටීමද නෙමෙයි . එක් වෙන්න සංසාරේ පින් මදිම නම්, අපි දෙන්නා එක තැනම මියයමු ඉතින් කියලා තියෙන්නේ සිංදුවල විතරයි. සැබෑ ලෝකේදී මේ කිසිවක් වලංගු වෙන්නේ නෑ. ආදරය පරාර්ථකාමී පරිත්‍යාගයක් මිසක් ආත්මාර්ථකාමී ඉල්ලීමක් නෙමෙයි. ජීවිතේ කියන්නේ ප්‍රශ්නයක් ආ සැනින් එයට මුහුණ නොදී ජීවිතයෙන් පළා යාමම නෙමෙයි. මම , නුඹ සියල්ලන්ම මිනිස්සුන් . නිවැරදි තීරණය යනු ප්‍රශ්නයක් විසඳා ගැනීම මිසක් මරණය තෝරගැනීම නොවේ. සිහි තබාගන්න. මනුෂ්‍ය ආත්මයක් ලැබීම කියන්නේ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වාගේ දුර්ලභ අවස්ථාවක්. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑ. නමුත් ජීවිතේ වටිනාකම ඇත්තේ කට්ට කාගෙන ඉන්න තරමට මිසක් ජීවිතේ නැති කරගන්න විට නෙමෙයි. වේදනාවෙන් පීඩිත වූවෙක් තර්කයන් නගයි . ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි . එය සත්‍යයක් . නමුත් ප්‍රශ්නයකට විසඳුම මරණය නම් මේ ලොවම අද සොහොන් පිට්ටනියක් . ප්‍රශ්න නැති මිනිස්සු ලෝකේ නෑ. ජීවිතේ දිනපු සියල්ලම තමන්ගේ අසාර්ථක වීම් හමුවේ සාර්ථක වූ අය. අසාර්ථකවීම්වලට විසඳුම මරණයම නෙමෙයි. ඔවුන්ට පරාජිතයින් යැයි කීම පරාජිතයාට ද කරන අපහාසයක්. මන්ද පරාජිතයා පරාජිතයෙකු වන්නේ සටන් කළ විට පමණයි. සටනක් නොකර මරණය වැළඳ ගැනීම කියන්නේ පරාජයක් නොව ප්‍රශ්න හමුවේ පළා යාමක්ම පමණයි. ප්‍රශ්නවලට එකම විසඳුම මරණයද. කෝච්චියට බෙල්ල තියන එක , බෙල්ලේ වැල දාගන්න එක , වහ බොන එක හරි වීරකමක් ද. මෙහෙම කියද්දී කෙනෙක් තර්ක කරලා අහයි. මොනවද ආදරේ ගැන දන්නේ? ඒ මගේ පළවෙනි ආදරේ කියයි. අඩයි . වැළපෙයි. එයට පෙරළාම ප්‍රශ්නයක් අහන්නම්. මොනවද ජීවිතේ ගැන දන්නේ. පළවෙනි ආදරේ , සැබෑ ආදරේ අමතක කරන්න බැරිනම් කොහොමද ලංකාවේ මේ තරම් වැඩිහිටි නිවාස බිහිවුණේ. උපන් දා ඉදන් ලැබුණ අම්මා තාත්තාගේ ආදරය අවංක නැද්ද ? . ඒ ආදරය අමතක කරලා ජීවිතේ නැතිකරගන්න හදද්දී අම්මා තාත්තගේ ආදරය දැනුණේ නැද්ද . ආදරයක් වෙනුවෙන් ජීවිතය නැතිකර ගත්තා කියලා අපි වෙනුවෙන් ජීවිත කාලේම කෙනෙකු බලා ඉන්නේ නෑ. අපි වෙනුවෙන් කෙනෙක් අඩයි . මාසයක් . දෙකක් . වැඩිම වුණොත් අවුරුද්දක්. ඊට පස්සේ එයා එයාගේ ජීවිතේ හදාගන්නවා. ඒක එහෙම නෙමෙයි කියලා තර්ක කරන්න අපිට බෑ. එය මට නුඹට මෙන්ම සියල්ලටම පොදු ධර්මතාවක්. ඉන්න තැනට වඩා එක අඩියක් හෝ ජීවිතේ ඉස්සරහට යන්න. ජීවිතේ හැම අභියෝගයක්ම ජයගෙන ජීවිතය දිනන්න . ජීවිතයක වටිනාකම තිබෙන්නේ එහිය . ආදරය කරන්න . ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන්න. ඒ වෙනුවෙන් බලන් ඉන්න. ඒත් ආදරේ වෙනුවෙන් ජීවිතේ නැති කරගන්න තරම් බොළද චරිතයක් වෙන්න එපා. ඇතැම් විට නුඹට ජීවිතේ වටිනාකම නොදැනෙනෙවා ඇති. ජීවිතේ එපා වෙලා මැරෙන්න හිතන මොහොතක හැකි නම් යන්න මහරගමට . පිළිකා රෝහලේ එක තත්පරයක් හෝ ජීවත් වෙන්න මිනිස්සු විඳින වේදනාව දෑසින්ම දැක ගන්න . උදේ හවස ඔවුන් අයදින්නේ ඔවුන්ගේ ජීවිතය. ‘’මොනවද ඕනේ ‘’ ඇහුවොත් එක හුස්මට කියයි ‘’ජීවිතය’’ . ඒ ඇස්වල තියෙන්නේ ඒ ඇස්වල නළියන්නේ ජීවිතය ගැන නැවුම් බලාපොරොත්තුවක් . ජීවිතය යනු රෝස මල් යහනාවක් නෙමෙයි. දුක සතුට සම සමව ජීවිතේට උරුම යි. මනුෂ්‍ය ජීවිතයක විශාල වටිනාකමක් තියෙනවා. එය කෙදිනක හෝ නුඹට මඟ හැරිලා ඇති. එය නුඹම සොයාගත යුතු යි. මොකද තමන්ගේ ජීවිතේ නිර්මාණකරු තමන් මිසක් වෙන කෙනෙක් නොවන නිසා. ජීවිතේ වැරදුණා නම් ආයෙත් නැගිටින්න . ජීවිත කතාව ලියාගෙන යද්දී වැරදුණා නම් ,රේල් පීළි උඩ ජීවිතේ හිළව් කරන් නැතුව අම්මා තාත්තා ළගට යන්න . දරාගන්න බැරිම නම්, තාත්තගේ උරහිසට බරදීලා, උපන් දා ඉදන් අපිව නළවපු අම්මාගේ පපුවට බරදීලා දුක කියන්න. ඒ මිනිස්සු අහනවා . අපේ දුක, වේදනාව එයාලට බරක් නෙමෙයි. ආදරේ කියන්නේ ජීවිතේ සක්සස් කරගන්න කරන බිස්නස් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි. අවසානේට කියන්නේ මෙච්චරයි . බූට් එක මැරෙන්න නෙමෙයි ගොඩයන්න පොයින්ට් එකක් කරගන්න .