කොරෝනා නිසා ගුවන්තොටුපොළ සෞඛ්‍ය අංශ සීරුවෙන්

කොරෝනා හේතුවෙන් ගුවන්තොටුපොළ සෞඛ්‍ය අංශ සීරුවෙන්

by Staff writer 24-02-2020 | 7:56 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය යළිත් මෙරටට ඇතුළුවීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බවයි. අද උදෑසන වනවිට කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 4 දෙනෙකු මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේ ය. කොරෝනා ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇතැයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. එහි කම්කරු අංශ ප්‍රධානී සෙනරත් යාපා මහතා පැවසුවේ, ඇතැම් පිරිස්වලට නිවාඩු ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි. පවතින තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවට යාමට කැමැත්තෙන් සිටින පුද්ගලයින් සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ඔහු පැවසුවේ ය. මේ අතර ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය සිදු වන ප්‍රදේශ ආශ්‍රිතව ශ්‍රී ලංකිකයින් දහසක් පමණ දිවිගෙවන බව එහි සිටින ශ්‍රී ලාංකිකයෙකු නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ ය.