ඓතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් මග හැරේ

ඓතිහාසික ජයක්, දුර්වල පන්දු රැකීමෙන් ශ්‍රී ලංකාවට මග හැරේ

by Nadeeshan Meedin 24-02-2020 | 4:16 PM

COLOMBO (News 1st): කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දී සහභාගීවූ දෙවැනි තරගයෙන් ද ඔස්ට්‍රේලියාව හමුවේ අවාසනාවන්ත ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවිය.

පළමු තරගයේ දී මෙන්ම සුපුරුදු රිද්මයෙන් තම කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතයක් වාර්තා කළ නායක චමරී අතපත්තු පන්දු 38 ක දී හයේ පහර දෙකක් සමගින් ලකුණු 50 ක් රැස්කළ අතර, උමේෂා තිමාෂිනී ලකුණු 20 ක් ද, කඩුලු රකින ක්‍රීඩිකා අනුශ්කා සංජීවනී ලකුණූ 25ක් ද රැස්කළාය. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 122 ක් රැස්කර ගැනීමට සමත් වූවාය. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට උදේශිකා ප්‍රබෝධිනි සමත් වූයේ පළමු පන්දුවාර තුනේ දී කඩුලු දෙකක් ලබා ගනිමිනි. ඇයට අනගි සහායක් ලබා දුන් ශෂිකලා සිරිවර්ධන ඔස්ට්‍රේලියාව ලකුණු 10 ක් ව සිටිය දී තෙවැනි කඩුල්ල ද දවා ගැනීමට සමත් වූවාය. නමුත් ඉන් අනතරුව අභියෝගයක් ලබා දීමට සෙසු පන්යවන්නන් සමත් නෝවීම කැපී පෙනිණි. පන්දු රැකීමේ දී ක්‍රීඩිකාවන් විසින් පන්දුයවන්නියන්ට අවශ්‍ය සහාය ලබා නොදීම හේතුවෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියාව පරාජය කිරීමේ පහසු අවස්ථාව ගිලිහි ගියාය. ඉනිම තුළ පහසු උඩ පන්දු තුනක් ගිලිහී යාම දැක ගත හැකි වූ අතර, ලකුණු 60 ලබා ගත්,  ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වූ රශෙල් හේන්ස්ගේ උඩපන්දු දෙකක් ලකුණු 26 සිටිය දී හා 60 ක් ව සිටිය දී චමරී අතපත්තුගේ පන්දු හමුවේ ගිලිහී ගියාය. නොදැවී ලකුණූ 41 ක් රැස්කළ ඉනිමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වූ, මෙග් ලැනිංගේ උඩ පන්දුවක් කඩුලු රකින ක්‍රීඩිකාව විසින් ශෂිකලා සිරිවර්ධනගේ පන්දු යැවීම හමුවේ ගිලිහීම ශ්‍රී ලංකා ජයග්‍රහණය ඈත් කළාය. කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රබල කණ්ඩායමක් වන ඔස්ට්‍රේලියාව පළමු පන්දුවාර 6 වන පවර්ප්ලේ අවස්ථාවේ දී කඩුලු 3 දවාගනිමින් ලකුණු 19 කට සීමා කිරීමට උදේශිකා ප්‍රබෝධිනී හා ශෂිකලා සිරිවර්ධන සමත් වූවාය. එසේම ඔවුන්ට පළමු පන්දුවාර 10 අවසානයේ රැස්කරගත හැකි වූයේ, කඩුලු 3ට ලකුණු 45 ක් වූ අතර, ජයග්‍රහණය කිරීමට නම් එතැන් පටන් පන්දුවාරයකට ලකුණු 7.80 ක සාමාන්‍යයක් රඳවා ගැනීමට අවශ්‍ය විය. කෙසේ වෙතත් දුර්වල පන්දු රැකීම හමුවේ ඔස්ට්‍රේලියාවට පහසුවෙන් ලකුණු හඹායාමට හැකි විය. ඒ අනුව, ඔස්ට්‍රේලියාව තරගය අවසන් වීමට පන්දු 3 ක් ඉතිරිව තිබිය දී, කඩුලු 5 ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූවාය. ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයවූ නවසීලන්තයට එරෙහිව පැවති තරගයේ දී ද, අත්‍යාවශ්‍ය අවස්තාවල දී උඩ පන්දු ගිලිහී යාම දැකගත හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මීළඟ තරගය ලෙස ලබන 29 වන දා ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.