ට්‍රම්ප් මහත් හරසරින් ඉන්දියාවේදී පිළිගනී

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්

by Staff writer 24-02-2020 | 12:44 PM

News 1st - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කුළුඳුල් ඉන්දීය සංචාරය අරඹමින් අද අහමදාබාද් නුවරට ළඟාවිය.

ඒ, ඉන්දියාවේ සංචාරයක නිරතවන 7 වන අමෙරිකානු ජනාධිපතිවරයා ලෙසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප්, දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ ඇයගේ සැමියා වන ජැරඩ් කුෂ්නර් ද අමෙරිකානු ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්විය. අමෙරිකානු ජනාධිපතිවරයා දින 02 ක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතය. සිය දෙදින ඉන්දීය නිල සංචාරය තුළ අමෙරිකානු ජනාධිපතිවරයා, නවදිල්ලිය, අහමදාබාද් සහ අග්‍රා නුවර සංචාරය කිරීමට නියමිතය. අහමදාබාද් නුවරදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්වෙන්නේ නමස්තේ ට්‍රම්ප් නමිනි. එම අවස්ථාවට එක්වන පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ දේශනයක් සිදු කරනු ඇති. තමාගේ පැමිණීම, ඉන්දියාව ලැබූ විශාලම අවස්ථාව බව හිතමිතුරු නරේන්ද්‍ර මෝදී ප්‍රකාශ කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ය. එලඹෙන ජනාධිපතිවරණයේදී අමෙරිකාවේ දිවිගෙවන ලක්ෂ 24 ක් පමණ වන ඉන්දීය - අමෙරිකානු ඡන්ද දායකයන්ගේ ඡන්ද ලබාගැනීම ජනපති ට්‍රම්ප්ගේ එම ඉන්දීය සංචාරයේ අරමුණ බවට මත පළවේ. ආසන දසදහසකින් සමන්විත ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම සහ ටජ් මහල් මන්දිරය නැරඹීමට ද ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු දූත පිරිස සහභාගීවීමට නියමිත බව සඳහන් වෙයි.