වියළි කාලගුණයෙන් 15,000කට අධික පිරිසකට පීඩා

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 15,000කට අධික පිරිසකට පීඩා

by Staff writer 23-02-2020 | 9:11 PM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පහළොස් දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇත.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් බලපෑම් සිදුව ඇත්තේ කෑගල්ල, රත්නපුර, මහනුවර සහ කලුතර යන දිස්ත්‍රික්කවලටයි. ස්වාභාවික ජල මූලාශ්‍ර රැසකට උරුමකම් කියන කොත්මලේ මෙරට ජල විදුලි උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදුන්න ද මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග කොත්මලේ ජනතාව බලවත් ගැටළුවකට මුහුණ පා සිටී. කොත්මලේ ජලාශයේ ජල මට්ටම මේ වනවිට සීඝ්‍රයෙන් පහත බැස ඇතැයි එහි කාර්යභාර ඉංජිනේරුවරයා සඳහන් කළේය. රණමුණේ ප්‍රදේශයේ තිබෙන ජල පිහිල්ලක් වෙත කොත්මලේ ගම්මාන රැසක ජනතාව වාහනවලින් පැමිණ ජලය රැගෙන යන අතර මෙම ගම්මාන කිහිපයේම නොසිඳී පවතින එකම ජල මූලාශ්‍රය මෙයයි. මේ අතර යටියන්තොට ,මගම්මන ගඟ ඉහළ ප්‍රදේශයේ ජනතාව ද වියළි කාලගුණයේ දැඩි බලපෑමට මුහුණ දී සිටියි. ස්වාභාවික මූලාශ්‍රවලින් සකස් කළ ජල පිහිලි සියල්ල මේ වනවිට අක්‍රිය වී ඇති අතර ඒවායින් ගලාවිත් දිගු කලක් රැදී තිබෙන අපිරිසිදු ජලය භාවිත කිරීම හැර ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. එම ජනතාව පැවසුවේ මේ ජලය කිසිසේත් බීමට සුදුසු නොවන බවයි.