මහවැලි ගඟේ ⁣වැලි ගොඩ දැමීම් දේශපාලන හිතවත්කම් මත ද?

by Staff writer 23-02-2020 | 10:46 PM

COLOMBO (News 1st) - වැලි ගොඩදැමීම සහ ප්‍රවාහනය වරප්‍රසාද ලත් කණ්ඩායමකට පමණක් සීමා වී ඇති බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල වේ.

මහවැලි ගඟේ වැලි ගොඩදැමීම දේශපාලන හිතවත්කම් මත සිදු වන බව ප්‍රධාන චෝදනාවකි. මහවැලි ගඟේ කන්තලේ, සිරිමංගලපුර වැලි මංකඩේ වැලි ගොඩදැමීම සඳහා ත්‍රිකුණාමලය දිසා වන නිලධාරීවරයා පුද්ගලයින් 120 දෙනෙකුට අවසර දෙමින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ත්‍රීකුණාමලය කැණීම් ඉංජිනේරුවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණි. ඉකුත් ජනවාරි මාසයේ ඔහු එම ලිඛිත අවසරය නිකුත් කළේ පරිසර හා වන ජීවී සම්පත් අමාත්‍යවරයාගේ උපදෙස් අනුගමනය කරමිනි. බලපත්‍රලාභීන් 120 දෙනා අතරින් 70 දෙනෙකුම සිටින්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රද්ශවලයි. ඔවුන් ගම්පහ-දිවුලපිටිය, අනුරාධපුරය, කැකිරාව, තලාව, මීගමුව, කොටදෙණියාව, කුරුණෑගල -මිනුවන්ගැටේ, අකුරව, වරකාපොළ, දෙහිඕවිට, ගම්පොළ, හංවැල්ල , මහනුවර, ගොමගොඩ, මාතර - කැකණදුර ඇතුළුප්‍රෙද්ශ ගණනාවක පදිංචිකරුවන් ය. කෝට්ටේ මන්ත්‍රී නිවාසයක පදිංචිකරුවෙකු ද බලපත්‍රලාභී ලැයිස්තුවේ‍ සිටින බව සඳහන් වන නමුත් තොටුපොළ පිහිටි සිරිමංගලපුර ප්‍රදේශයේ කිසිදු පදිංචිකරුවෙකු ලැයිස්තුවේ නොමැත. සිරිමංගලපුර ඇතුළු ප්‍රදේශ ගණනාවකින් 3000කට ආසන්න පිරිසක් පසුගිය මස 27 වෙනිදා වැලි බලපත්‍ර ලබා ගැනීමට කන්තලේ අඩවි වන නිලධාරී කාර්යාලයට පැමිණ සිටියහ. මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමට අවසර ඇත්තේ සතියේ දින 3 ක පෙරවරු 8 සිට සවස 6 දක්වා පමණි. සති අන්තයේ වැලිගොඩ දැමීමට කිසිදු අවසරයක් නොමැති නමුත්, ඊයේ ද සිරිමංගලපුර වැලිමංකඩෙන් වැලි ගොඩදැමීම සිදු කෙරුණි.