දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායකදී විශේෂ පරීක්ෂාවකට

by Staff writer 23-02-2020 | 6:09 PM

COLOMBO (News 1st) - දකුණු කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, දින 14 ක කාලයක් ඔවුන් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මේ වනවිට කොරෝනා හේතුවෙන් දකුණු කොරියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 556 කි. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ දකුණු කොරියාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි අමෙරිකානු රජය එරට පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් දකුණු කොරියාවේ ප්‍රදේශ රැසක සේවයේ නිරත වන අතර තානාපති අංශ පැවසුවේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බවයි. මේ අතර කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉතාලිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. ඉතාලියේ නගර රැසක් වසා දැමීමට තීරණය කර තිබේ. කොරෝනා හේතුවෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, ආසාදනය වූවන් සංඛ්‍යාව 79 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් ය. ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉතාලියේ රැකියාවල නිරතවන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ නගරවල වැසියන් 50,000 කට පමණ නිවෙස් තුළට වී සිටින්නැයි බලධාරීන් නියෝග කර ඇති බවයි. මේ අතර ඊයේ චීනයේ හුබෙයි පළාතේ පුද්ගලයන් 96 දෙනෙකු කොරෝනා හේතුවෙන් මියගොස් තිබේ.