මන්ත්‍රී විජයදාස ලබන 28 වනදා ජනපති කොමිසම හමුවට

මන්ත්‍රී විජයදාස ලබන 28 වනදා ජනපති කොමිසම හමුවට

by Staff writer 22-02-2020 | 12:28 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ලබන 28 වනදා පෙනී සිටින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. ඒ අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට අදාළව සාක්ෂි ලබා ගැනීම සඳහායි. කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ, ඊට අමතරට ලබන අඟහරුවදා වී පී එන් භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරීවරයෙකුට සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවයි. මේ අතර ඊයේ දිනයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමති පිරීස් මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා භාරතී ජයවර්ධන මහත්මිය පැමිණ සාක්ෂි ලබා දුන්නා ය. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව මේ වන විට 70 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බව කොමිසම සඳහන් කළේ ය. මේ වන විට ප්‍රකාශ ප්‍රකාශ සටහන් කරගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 455කි. අප්‍රේල් 21 සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය ලබන මස 22න් අවසන් වනු ඇති.