කොස්තාපල් ඝාතනය : සැකකරුවන් 3ක් අත්අඩංගුවට

කොස්තාපල් ඝාතනය : සැකකරුවන් 3ක් අත්අඩංගුවට

by Staff writer 22-02-2020 | 10:05 AM
COLOMBO (News 1st) : කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ අලුයම අත්අඩංගුවට ගත් බවයි. ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පැහැර ගෙන යාම සඳහා භාවිත කළ ත්‍රිරෝද රථය, අපරාධය සඳහා යොදා ගත් යකඩ කඩු දෙකක්, ජංගම දුරකතන 5 ක් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 23 හා 20 යන වයස්වල පසුවන වෙලුරගම, වත්තල හා යක්විල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි. මෙම කොස්තාපල්වරයා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට තවත් සැකකරුවන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පසුගිය 17 වන දා කඩවත පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කළ පොලිස් කොස්තාපල් රියැදුරුවරයෙකු පැහැර ගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් මත කැලණිය අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබිණ. දින කිහිපයක් අතුරුදන්ව සිටී එම පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර ඊයේ සොයා ගනු ලැබුවේ පන්නල වේරහැර බුළුගොඩ කැලෑ බද ප්‍රදේශයක තිබියදීයි.