කොරියාවේ සිටින කිසිදු ලාංකිකයෙකුට කොරෝනා නැහැ

කොරියාවේ සිටින ලාංකිකයින් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි

by Staff writer 22-02-2020 | 1:55 PM
COLOMBO (News 1st) : දකුණු කොරියාවේ කොරොනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ එරට වෙසෙන ලාංකිකයින්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් එම කටයුතු සිදුවන බවයි. සෝල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුව එරට වෙසෙන කිසිදු ලාංකිකයෙකුට වෛසරය ආසාදනය වී නොමැත. විගමණික සේවකයින් සහ ශිෂ්‍යයින් ලෙස දකුණු කොරියාවට ගොස් සිටින ලාංකිකයින් සංඛ්‍යාව විසි දහසකට අධිකයි. එම පිරිස අතරින් දීගූ නගරයේ දිවි ගෙවන ලාංකිකයින් 915 දෙනෙකු පිළිබඳව තානාපති කාර්යාලයේ අවධානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. දකුණු කොරියාවේ වෙසෙන ලාංකික ප්‍රජාවගේ යහපත උදෙසා පැය 24 පුරා ක්‍රියාත්මක සහන මැදිරියක් ස්ථාපිත අතර, ඔවුන් සමග සබඳතා පවත්වා ගැනීම උදෙසා සමාජ මාධ්‍ය කණ්ඩායම් දෙකක් ද නිර්මාණය කර තිබේ. හදිසි දුරකථන අංක කිහිපයක් ද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හඳුන්වා දී ඇත. ඒ අනුව හදිසි අවස්ථාවකදී 00821072221352 සහ 00821040840855 දුරකතන අංක ඔස්සේ තොරතුරු විමසිය හැකි ය.