ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

by Chathuranga Rajapaksha 22-02-2020 | 8:49 PM

COLOMBO ( News 1st )  -  බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක තියුණු ජයක් අද වාර්තා කළේ ය.

කොළඹ SSC පිටියේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළේ ය. ඒ අනුව කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 289කි. විශිෂ්ට පිති හරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ශායි හෝක් ලකුණු 115ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකණු 82 කට කඩුල්ලක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නැගීමට නායක දිමුත් කරුණාරත්ත සහ අවිශ්ක ප්‍රනාන්දු සමත් විය. දිමුත් කරුණාරත්ත ලකුණු 52 කට දැවී ගියේ ය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් විය. කුසල් ජනිත් පෙරේරා ලබාගත් ලකුණු ගණන 42 කි. වේගවත් පිති හරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 22 කදී ලකුණු 32 ක් ලබා ගත්තේ ය. තරගය ජයග්‍රහණය කරා රැගෙන ගිය යොවුන් පිතිකරු වනිඳු හසරංග විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 42 ක් ලබා ගැණීමට සමත් විය. ඊට 4 පහර 4ක් සහ එක් 6 පහරක් ඇතුළත් විය. ඒ අනුව 49 වන පන්දු වාරයේ පළමු වන පන්දුවේදී කඩුලු 9ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ලකුණු 290 පසු කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටී. කොදෙව් ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය ලබන 26 වනදා සූරියවැවදී පැවැත්වීමට නියමිත ය.