මහා ශිව රාත්‍රි දිනය අදයි

මහා ශිව රාත්‍රි දිනය අදයි

by Staff writer 21-02-2020 | 9:35 AM
COLOMBO (News 1st) : හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රි දිනය අදයි. ඒ වෙනුවෙන් සෑම කෝවිලකම අද රාත්‍රි ශිව දෙවියන් වෙනුවෙන් විවිධ පූජාවන් පැවැත්වේ. අන්තර් ආගමික සහජිවනය කුළු ගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දැකීම රටේ නායකයා ලෙස මහත් සතුටට පත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි. අනේක විද කැළඹිලි හා ඝට්ටන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදාකර දෙන්නේ ආගම බව සිහිපත් කරන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ , නව ජවයකින් අලුත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලාංකිකයින් අතරට දෙමළ ප්‍රජාවද එක්ව සිටින බවයි. බෞද්ධයින්ට වෙසක් වැදගත් වනවාසේ හින්දු බැතිමතුන්ට මහා ශිව රාත්‍රීය වැදගත් ආගමික දිනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය. විපක්ෂ නායකවරයා ඒ බව සඳහන් කළේ, මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනි. මිනිස් වර්ගයා අතර සංහිඳියාව ඇතිවීමට ද මං පාදන පුණ්‍ය වන්ත දිනයක් ලෙස මහා ශිව රාත්‍රිය හැඳින්විය හැකි බව පෙන්වා දෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ශිව රාත්‍රී දිනට අරුත් ගන්වන්නේ මානව සංහතියේ ශාන්තිය බවයි.