සුනඛයාට තුවාල කිරීමේ සිද්ධිය ගැන පොලිස් පරීක්ෂණ තවදුරටත්

by Staff writer 20-02-2020 | 10:31 PM

COLOMBO (News 1st): සුනඛයෙකුට තියුණු ආයුධයකින් පහරදුන් බව කියන පුවතක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි අවධානයට යොමුව තිබේ.

මේ පිළිබඳව අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ, කුලියාපිටිය, ගල්පොළ ප්‍රදේශයේ කුඩා කළ සිට නිවෙසේ සාමාජිකයින්ගේ සෙනෙහසින් ජීවත්වූ එම සුනඛයා 'කුකූ' නමින් හඳුන්වන බව ය. අවුරුදු තුනහමාරක් පමණවන 'කුකූ'ට පසුගිය 18 වැනිදා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දෙන්නට සිදුවිය. ප්‍රදේශයේ මාර්ගයක රැඳී සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් එම සුනඛයාගේ හිසට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ 'කුකූ'ට ප්‍රතිකාර කිරීම සඳහා රැගෙන එන්නේ කුරුණෑගල ප්‍රදේශයේ සත්ත්ව සායන මධ්‍යස්ථානයකටයි. 'කුකූ'ට සිදුකළ ප්‍රතිකාර සම්බන්ධයෙන් අප අද කළ විමසීමකදී පශුවෛද්‍ය චරිත් යසංග මහතා මෙසේ කියා සිටියේය.
පෙරේදාම අපි ශල්‍ය කර්මය සිදු කළා. ඒකට වෛද්‍යවරු හතරක් සහභාගි වුණා. දැනට සතා සාමාන්‍ය මට්ටමක ඉන්නවා. නේවාසිකව තියාගෙන ප්‍රතිකාර කරනවා දිගටම. මන්නේ ගොඩක් යටටම ගිහිල්ලා තිබ්බා හිස් කබලත් පසාරු කරගෙන මොළය ළඟටම වගේ. එතකොට මොළයට ගොඩක් විෂබීජ යාමේ හැකියාව තවමත් තියෙනවා. ඒක නිසා අපි දිගටම ප්‍රතිකාර කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.