බුර්කාව තහනම් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

බුර්කාව තහනම් කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක්

by Staff writer 20-02-2020 | 10:31 PM

COLOMBO ( News 1st ) - සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහාම තහනම් කරන ලෙසටත්, වාර්ගික හා ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අත්හිටුවන ලෙසටත්, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩුදුන් කරුණු 14කට විසඳුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු විශේෂ වාර්තාවෙහි මේ බව සඳහන් වේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එහි දැක්වෙන්නේ රටවල් ගණනාවක් දැනටමත් බුර්කාව තහනම් කර ඇති අතර, සිරියාවේ පිහිටි අයි.එස්.අයි.එස්. මූලස්ථානය ද පසුගිය වසරේ සැප්තැම්බර් 19 වැනිදා සිට බුර්කාව තහනම් කර ඇති බවයි. යමෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විට අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා එය ඉවත් කිරීමට අවනත නොවේ නම් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලයද පොලීසියට තිබිය යුතු බව වාර්තාවේ සඳහන් වේ. ජාතිය හා ආගම මත පදනම් වන දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සඳහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාවෙන් නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ. එමෙන්ම, මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වසර 03ක් ඇතුළත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සාමාන්‍ය පාසල් පද්ධතියට අන්තර්ග්‍රහණය කළ යුතු බව ද ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.