ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත් වීමට තීරණය කරයි

by Staff writer 19-02-2020 | 3:09 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිහ එක යෝජනාව සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යාමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමට රජය තීරණය කර ඇතැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ නිවේදනය කළේ ය. 2015 වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මේ යෝජනාව අනුමත කර තිබිණ. යුද හමුදාපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමරිකාව පැනවූ ගමන් තහංචිය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය. අග්‍රාමාත්‍යවරයා මහතා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනගිය යහපාලන ආණ්ඩුව 2015 දී මානව හිමිකම් කවුන්සිලයේ 30/01 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇති බවයි. යුද හමුදාපතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කළ ද ඒවා මොනවා දැයි කිසිවෙකු නොදන්නා බව රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඔහු පවසන්නේ නීතියෙන් වරදකරුවෙකු වන තුරු අපරාධයකට චෝදනා ලැබූවෙකු වරදකරුවෙකු නොවන බවට සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුතියේ සඳහන් වුව ද එය යුද හමුදාපතිවරයාට හෝ පවුලේ සාමාජිකයින්ට බලපාන බවක් නොපෙනෙන බවයි. කිසිදු වරදකට හෝ චෝදනාවකට ලක්වී නොමැති යුද හමුදාපතිවරයාගේ බිරිඳ හා දරුවන් මත ද එම තහංචිය පැනවීම අසාධාරණ බව අග්‍රමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් අණ්ඩුව අමෙරිකාවට දැඩි විරෝධය පළකර ඇති බවයි. 2015 වසරේ ඔක්තෝබර් මස 01 වන දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ මුලිකත්වයෙන් ඉදිරිපත් කළ යෝජනාව සම්මතවූයේ ශ්‍රී ලංකාවේ ද සම අනුග්‍රාහකත්වය යටතේයි. බ්‍රිතාන්‍යය උතුරු අයර්ලන්තය , මැසිඩෝනියාව, මොන්ටි නිග්‍රෝ යන රටවල සම අනුග්‍රහය ඇතිව ඇමරිකාව එම යෝජනාව ඉදිරිපත් කළේ ය. මූලික කරුණු 9 කට මේ යෝජනාවෙන් එකඟතාව පළකර තිබූ අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීමට විදේශීය විදේශ විනිසුරුවරුන්, නීතිඥයින් සහ පරීක්ෂකයින් ඇතුළත් දෙමුහුන් අධිකරණයක් ස්ථාපනය කිරීම ඉන් ප්‍රධානයි. කෙසේවෙතත් රටේ ව්‍යවස්ථාවට අනුකූලව මෙවැනි දෙමුහුන් අධිකරණ ව්‍යුහයක් ක්‍රියාත්මක කළ නොහැකි බව මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරයේදී එවක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අවධාරණය කළේ ය. නමුත් බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වමින් සම්මත කළ 40/1 යෝජනාවේ සඳහන් වූයේ 30 එක යෝජනාවේ සඳහන් සියලු කරුණු ක්‍රියාත්මක කිරීමට කැපවිය යුතු බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/207631397027977/