විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 3 වනදා

බදියුදීන්ට එරෙහි විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 3 වනදා

by Staff writer 19-02-2020 | 4:31 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා ඇති විල්පත්තු නඩුවේ තීන්දුව ලබන අප්‍රේල් 3 වනදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනු කරනු ලැබ ඇත්තේ, විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත කල්ලාරු ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් එළි පෙහෙළි කර, අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කිරීමේ අරමුණින් කටයුතු කිරීමට එරෙහිවයි. පෙත්සම අද විභාගයට ගනු ලැබුවේ, ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබේ. පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපවලට ආසන්නයේ පිහිටි කල්ආරු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2,388 හෙළි කොට එහි අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් විශාල පාරිසරික හානියක් සිදුව ඇති බවයි. එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙළි කිරීම් සිදුකොට අනවසර ඉදිකිරීම් සෑදීම වැළැක්වීමෙන් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය පෙත්සම ගොනු කර තිබේ. නඩුවේ විභාගය අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණ ද එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා තීන්දුව ප්‍රකාශ කිරීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යළි විභාග කිරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කළේ ය.