කොරෝනා වැළඳුණු චීන ජාතික කාන්තාව රෝහලින් අද පිටව යයි

by Staff writer 19-02-2020 | 7:24 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව පූර්ණ සුවය ලැබූ චීන ජාතික කාන්තාව අද ඉන් පිටව යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, ඇය රෝහලින් පිටවී කටුනායක ගුවන්තොටුපොළින් අද දිනයේම චීනය බලා යාමට නියමිත බවයි. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව අදාළ චීන ජාතික කාන්තාවගේ ශරීරයෙන් වෛරසය ඉවත් වී ඇත්දැයි තහවරු කර ගැනීමට පරීක්ෂණ රැසක් සිදු කළ බවය. එම සියලු පරීක්ෂණවලදී ඇගේ ශරීරයේ කොරෝනා වෛරසය නොමැති බව තහවුරු වූ බව වෛද්‍යවරයා සඳහන් කළේ ය. චීනයේ හුබෙයි පළාතේ පදිංචිකාරියක් වූ 43 හැවිරිදි ඇය මෙරට සංචාරයට පැමිණ සිටියදී පසුගිය මස 26 වැනි දා කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ මතුවීමත් සමග රෝහල්ගතවූ අතර පසුව කළ පරීක්ෂණවලදී ඇයට එම වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය. මේ අතර විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, මේ වනවිට මහනුවර හා කරාපිටිය රෝහල්වල කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් දෙදෙනෙකු පමණක් ප්‍රතිකාර ලබන බවයි. https://www.youtube.com/watch?v=rcz7SAcXmUI