by Staff writer 18-02-2020 | 6:00 PM
COLOMBO ( News 1st ) - අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.
එමෙන්ම සැකකාර ජයන්ත සමරවීර මහතා රුපියල් 7,500 ක අමතර ඇපයක් මත මුදා හරින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝග කරනු ලැබුවා ය.
සැකකාර ජයන්ත සමරවීර මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ ඊයේ දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණයට සිය කණගාටුව පළ කරන බව ද නීතිඥවරයා පැවසුවේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර මීළග නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළා ය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හරහා මහජන පීඩාවක් කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවකු වන ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය නොතීසි නිකුත් කළේ ය.