පොදු සමා කාලය අතරතුර ගිනි අවි 200 ක් පොලිස් භාරයට

පොදු සමා කාලය අතරතුර නීති විරෝධි ගිනි අවි 200 ක් පොලිස් භාරයට

by Staff writer 18-02-2020 | 5:20 PM

COLOMBO (News 1st) - නීති විරෝධි ගිනි අවි රජයට භාරදීම සඳහා ලාබාදුන් පොදු සමා කාලය අතරතුර නීති විරෝධි ගිනි අවි 200 ක් පොලීසියට භාරදී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ආයුධ භාර නොදුන් අය සඳහා දැඩි නීතිමය පියවර ගන්නා බවයි. ගිනි අවි භාරදීම සඳහා ලබාදුන් සතියක පොදු සමා කාලය අවසන් වීමත් සමග පොලීසිය අනෙකුත් බුද්ධි අංශ සමග එක්ව නීති විරෝධි ගිනි අවි වැටලීම ආරම්භ කර ඇති බව එම නිවේදනයේ සඳහන් ය. ලබාදුන් පොදු සමා කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ලද ගිනි අවි 200 ක් සියලු පළාත්වල පොලිස් ස්ථාන වෙත ලබාදී තිබේ. රටේ සියලුම නීති විරෝධි ගිනි අවි භාරයට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබාදුන් නියෝගය අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පෙබරවාරි 5 සිට 12 දක්වා ගිනි අවි සඳහා ලබාදුන් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණි. වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ගිනි අවි භාරදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව බෝර 12 වෙඩි බෙහෙත් තුවක්කු 137, බෝර 16 වෙඩි බෙහෙත් තුවක්කු 15, ද්විත්ව බැරල් තුවක්කු 2, රිපීටර් වර්ගයේ තුවක්කු 5, රයිෆල් 6, රිවෝල්වර 7, පිස්තෝල 8 සහ තව ත් ගිනි අවි 20 ක් ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. වලංගු බලපත්‍ර නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ආයුධ භාර දුන් අයට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පොදු සමාව අතරතුර ආයුධ භාර දුන් අයට නව බලපත්‍ර ලබාගැනීමට සහ පරණ බලපත්‍ර නැවත අලුත් කිරීම් සඳහා ආයුධ පොලීසියට භාර දුන් දින සිට මාස 3 ක සහන කාලයක් ලබාදී ඇත. පොදු සමාවෙන් පසු තවමත් නීති විරෝධි ගිනි අවි සන්තකයේ තබාගෙන සිටින අය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.