යුද හමුදාපතිට පැන වූ තහනම ගැන අමෙරිකානු නියෝජිතයින් පිරිසක් හා විදේශ ඇමති අතර සාකච්ඡාවක්

by Staff writer 17-02-2020 | 8:34 PM
අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවට ඇතුළුවීම සඳහා පනවා ඇති තහනම් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් , එමි බේරා සහ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින්, ජෝර්ජ් හෝල්ඩිං යන මහත්වරුන් අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී යුද හමුදාපතිවරයාගේ සිද්ධියට අදාලව ශ්‍රී ලංකාවේ ස්ථාවරය කොංග්‍රස් මණ්ඩල නියෝජිතයින් වෙත පැහැදිලි කර තිබේ. යුද සමයේ මානව හිමිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් , යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීමේ තහනමක් පනවන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේය. එම තීරණය සම්බන්ධයෙන් මෙරට තානාපතිනි එලේනා බී.ටෙප්ලිස් මහත්මිය ද ඊයේ විදේශ අමාත්‍යවරයා හමුවූවාය. විදේශ සබඳතා අමාත්‍යඅංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය වොෂින්ටන් පාලනය වෙත දැනුම් දෙන බවට තානාපතිනිය සහතික වූ බවයි. යුද හමුදාපතිවරයාට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පනවා ඇති අමෙරිකානු තහනම වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් සංවිධාන කිහිපයක් අද දහවල් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණ සංදේශ භාර දුන්නේය.