දේශපාලන පළිගැනීම්: සාක්ෂි විමර්ශන අද..

දේශපාලන පළිගැනීම් ගැන සොයාබලන ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි විමර්ශනය අද ඇරඹේ

by Staff writer 17-02-2020 | 10:37 AM

COLOMBO ( News 1st ) - දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසන් සභාවේ සාක්ෂි විමර්ශන කටයුතු අද ආරම්භ වේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ අනුව අද හෙට සහ අනිද්දා දිනයන්හිදී පැවැත්වෙන සාක්ෂි විමර්ශනයට කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබූ ආරක්ෂක අංශ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා ඇති බවයි. එසේම අදාළ ආරක්ෂක අංශ නිලධාරීන් පසුගියදා කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ සාක්ෂි ලබාදීම සිදුකළ බව ද කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසන් සභාවට මේ දක්වා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 263 කි. පසුගිය 06 වනදා සිට ලබන 20 වැනිදා දක්වා මෙම කොමිසම සඳහා පැමිණිලි භාර ගැනීම සිදු වේ. මෙම ජනාධිපති කොමිසමේ සභාපතිත්වය දරන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා වන අතර විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වේ.