උදයංග වීරතුංග ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ්

උදයංග වීරතුංග ලබන 26 වැනි දා දක්වා රිමාන්ඩ්

by Staff writer 17-02-2020 | 4:46 PM

COLOMBO (News 1st) - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 26 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ.

ඒ, ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත්වී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් බිලියන 07 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගැණුනේ පසුගිය සිකුරාදායි. වරදේ බරපතළකම සහ ඇපදීමෙන් ඇති විය හැකි මහජන කැළඹීම කෙරෙහි අවධානය යොමු කළ තම අධිකරණය විත්තිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ය. වසර 05 කට අධික කාලයක් පුරා එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆ්‍රැන්සිස් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී. දයාරත්න යන මහත්වරුන් ඉදිරි විමර්ශන සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙසත් එලෙස නොකරන්නේ නම් ඒ කුමන හේතුවක් මත ද යන කරුණ සම්බන්ධයෙන් වහාම අධිකරණයට දැනුම් දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ ය. ඉදිරි විමර්ශන සාර්ථකව අවසන් කිරීම සඳහා එම නිලධාරීන් දෙදෙනාගේ සහය අවශ්‍ය බව අධිකරණයට පෙනි යන්නේ යැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර සිටි. එම මුල්‍ය ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් බිලියන 07 ක අලාභයක් ශ්‍රී ලංකා රජයට සිදු ව ඇති බව පැමිණිල්ලෙන් පෙන්වාදී තිබේ. එහෙත් එම ගනුදෙනුවෙන් පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි කර ඇති බව පෙන්වාදීමට අත්‍යවශ්‍ය ලේඛනයක් වන සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් ඉදිරිපත් කළ යුතු සහතිකය අධිකරණයට ඉදිරිපත් කිරීමට පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වීම ගැටලුවක් බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත. සැකකරු විසින් කර ඇති අලාභය රුපියල් 25,000 කට අධික බව සනාථ කළ හැකි සහතිකය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බැවින් සැකකරුට එරෙහිව පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් විමර්ශන කළ නොහැකි බැවින් සැකකරු ඇප මත මුදා හරින්නැයි ජනධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. වසර 05 කට ආසන්න කාලයක් එම විමර්ශන කරනු ලැබුවේ සහ සැකකරුට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බව අනාවරණය වීම නිසා බව එහිදී පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට පොදු දේපල පනත යටතේ ගැනෙන වැරදි නොමැතිවීම බලවත් ගැටලුවක් බව අධිකරණයට පෙන්වා දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල සහතිකය ඉදිරිපත් නොකිරීම අසමාන්‍ය තත්ත්වයක් බව මෙන්ම පැමිණිල්ල විසින් හිතාමතාම එම සහතිකය අධිකරණයට ඉදිරිපත් නොකිරීමට උත්සහ දරන බව පෙනී යන බවත් මහේස්ත්‍රාවරයා කියා සිටියේ ය. විමර්ශන නිලධාරීන් කටයුතු කරනුයේ සැකකරුට ඇප ලබාදීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට හැකි ආකාරයෙන් බව අධිකරණයට නිරීක්ෂණයවී ඇති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වාදී තිබේ. නීතිපතිවරයා දුන් උපදෙස් පිළිපැදීමක් නොකරන්නේ නම් මින් මතු කිසිම නඩුවක් සම්බන්ධවෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවට තම අධිකරණයෙන් ඉල්ලීමක් නොකරන ලෙසට පෙන්වා දුන් මහේස්ත්‍රතාවරයා කියා සිටියේ, නීතිපතිවරයා ලබා දෙන උපදෙස් පිළිනොපැදීම පොලීසියේ අලුත්ම ප්‍රවණතාවය වී ඇති බවයි.