අමෙරිකානු තානාපතිනිය අද විදේශ අමාත්‍යාංශයට

යුද හමුදාපතිට පැන වූ සීමා ගැන රජයේ ප්‍රතිචාරය දැනුම්දීමට විදේශ ඇමති අමෙරිකානු තානාපතිනිය අද කැඳවයි

by Staff writer 16-02-2020 | 7:52 AM

COLOMBO (News 1st) - මෙරට අමෙරිකානු තානාපති එලේනා බී. ටෙප්ලිප්ස් මහත්මිය අද පෙරවරුවේ විදේශ සබඳතා අමාත්‍යාංශයට කැඳවා තිබේ.

ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව පැන වූ වීසා තහනම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය දැනුම්දීම සඳහායි. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ නීතියට පිටින් සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන මුල්කර ගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහතා අමෙරිකාවට ඇතුළුවීමට නුසුදුසු අයෙකු ලෙස නම් කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කර සිටි. විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියේ, තහවුරු නොකරන ලද මූලාශ්‍ර මත පදනම්ව ගන්නා ලද මෙම තීරණය යළි සමාලෝචනය කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි. යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීම මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපානඥයින්ගේ දැඩි විවේචනයට ලක්විය.