අමෙරිකා තානාපතිනිය විදේශ අමාත්‍යාංශයෙන් පිටවෙයි

යුද හමුදාපතිට පැනවූ තහනම ගැන රජයේ ප්‍රතිචාරය දැක්වීමෙන් පසු අමෙරිකානු තානාපතිනිය විදේශ අමාත්‍යාංශයෙන් පිටව යයි

by Staff writer 16-02-2020 | 2:09 PM

COLOMBO (News 1st) - විදේශ සබඳතා අමාත්‍යවරයා සමග පැවති හමුවෙන් අනතුරුව අමෙරිකානු තානාපති එලේනා බී. ටෙප්ලිප්ස් මහත්මිය විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් පිටවගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, තානාපතිනිය අද දහවල් 12.10 ට පමණ විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණ පැයකට ආසන්න කාලයක් එහි රැඳී සිට පිටව ගිය බවයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව පැන වූ වීසා තහනම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය දැනුම්දීම සඳහා තානාපතිනිය එළෙස කැඳවා තිබුණි. අද පෙරවරු 9.00 ට පමණ විදේශ සඳබතා අමාත්‍යාංශයට පැමිණෙන්නැයි ඇයට දැනුම්දීමක් කළ බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ නීතියට පිටින් සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන මුල්කර ගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහතා අමෙරිකාවට ඇතුළුවීමට නුසුදුස්සෙකු ලෙස නම් කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගිය දා කියා සිටියේ ය. කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කළේ ය. විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියේ තහවුරු නොකරන මූලාශ්‍ර මත පදනම්ව ගන්නා ලද මෙම තීරණය යළි සමාලෝචනය කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි. යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීම මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපානඥයින්ගේ දැඩි විවේචනයට ලක්විය.