ශ්‍රී ලංකාවේ ස්ථාවරය වොෂින්ටනයට දැනුම් දෙනවා

යුද හමුදාපතිට පැනවූ තහනම ගැන ශ්‍රී ලංකාවේ ස්ථාවරය වොෂින්ටනයට දැනුම් දෙනවා - අමෙරිකානු තානාපති

by Staff writer 16-02-2020 | 4:56 PM

COLOMBO  (News 1st ) - යුද හමුදාපතිවරයාට පැනවූ සංචාරක තහනම පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වොෂින්ටනයට දැනුම් දෙන බව මෙරට අමෙරිකානු තානාපති එලේනා බී. ටෙප්ලිප්ස් මහත්මිය සඳහන් කළා ය.

විදේශ සබඳතා අමාත්‍යාංශයට අද උදෑසන පැමිණි මෙරට අමෙරිකානු තානාපතිනිය එහි පැයක පමණ කාලයක් එහි රැඳී සිට ඇත. ඇය අමාත්‍යාංශයට පැමිණියේ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇයට කළ දැනුම්දීමකට අනුවයි. එහිදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාව පැන වූ වීසා තහනම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය මෙරට අමෙරිකානු තානාපතිනිය වෙත දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමයේ නීතියට පිටින් සිදු වූ බව කියන මනුෂ්‍ය ඝාතන මුල්කර ගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහතා අමෙරිකාවට ඇතුළුවීමට නුසුදුස්සෙකු ලෙස නම් කළ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පසුගිය දා කියා සිටියේ ය. කෙසේ වෙතත් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා රජය අවධාරණය කළේ ය. විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටියේ තහවුරු නොකරන මූලාශ්‍ර මත පදනම්ව ගන්නා ලද මෙම තීරණය යළි සමාලෝචනය කරන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටින බවයි. යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීම මහා සංඝරත්නය මෙන්ම පක්ෂ විපක්ෂ දේශපානඥයින්ගේ දැඩි විවේචනයට ලක්විය.