කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය ගණන 1662 දක්වා ඉහළට

කොරෝනා වෛරසයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 1662 ක් දක්වා ඉහළට

by Staff writer 16-02-2020 | 8:05 AM

COLOMBO (News 1st) - චීනයේ කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1662 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ හූබෙයි පළාතේ වෛරසය ආසාදනය වූවන් 139 දෙනෙකු මියයාමත් සමගයි. චීනයේ හූබෙයි පළාතෙන් කොරෝනා වෛරසය අලුතින් ආසාදනය වූවන් 1843 ක් වාර්තා වන අතර පළාතේ කොරෝනා ආසාදනය වූවන්ගේ සමස්තය සටහන් වන්නේ 56,249 ක් ලෙසයි. මේ සමග චීනයේ කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව 68,000 වේ. චීනයෙන් පිටත කොරෝනා වෛරෙසය ආසාදනය වූවන් 500 දෙනෙකු පිළිබඳ වාර්තා වන අතර ජපානය, පිලිපීනය, ප්‍රංශය සහ හොංකොං දේශයේ පුද්ගලයන් සිව්දෙනෙකු ද මෙම වෛරසයෙන් ජීවිතක්ෂයට පත්විය. කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටිනු ඇතැයි සැක පළවූ නෞකා දෙකකට සිය වරායවල නැංගුරම් ලෑම වියට්නාමය ප්‍රතික්ෂේප කළේ ය. චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වෛරසය ව්‍යාප්තිය කඩිනමින් නිමාකිරීමට හැකිවනු බවයි. වෛරසයෙන් සිය ආර්ථිකයට වූ බලපෑම තාවකාලික බවත් යළි ඉන් ශක්තිමත්ව නැගීසිටීමට හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.