BOI සභාපති ලෙස ව්‍යාජව පෙනී සිටි අයෙකු අත්අඩංගුවට

අවන්හලකදී ගැටුමක් ඇති කරගත් හොර BOI සභාපති පොලිස් දැලේ

by Staff writer 16-02-2020 | 9:59 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ (BOI) සභාපතිවරයා ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයකු කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ අවන්හලකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරු බීමතින් අවන්හලේ සේවකයින් සමග බහින්බස්වීමක් ඇතිකරගෙන එහි හිමිකරුට පහරදී ඇති බවයි. අනතුරුව අදාළ පුද්ගලයා සිය පෙම්වතිය සහ තව ත් පුද්ගලයකු සමග කොම්පඤ්ඤ වීදිය පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා ඇත. පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයා ද තුවාල ලබා සිටි බැවින් රෝහල්ගත කළ බව පොලීසිය පැවසුවේ ය. පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකරු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා නොවන බවයි. එම අවන්හලේ CCTV දර්ශන පරීක්ෂා කළ අවස්ථාවේදී බහින්බස්වීම දුරදිග ගොස් පහරදීමක් සිදු ව ඇති බව පොලීසිය පැවසීය. ව්‍යාජව පෙනී සිටීම, අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.