යුරෝපයේ පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්....

යුරෝපයේ පළමු කොරෝනා මරණය ප්‍රංශයෙන්.... වෛරසය පැතිරීම පාලනයට චීනය මුදල් නෝට්ටු පිරිසිදු කරයි

by Staff writer 15-02-2020 | 7:09 PM
COLOMBO (News 1st): යුරෝපයේ පළමු කොරෝනා මරණය අද ප්‍රංශයෙන් වාර්තා විය. එලෙස මියගොස් ඇත්තේ චීනයේ හුබෙයි පළාතෙන් එරටට පැමිණි 80 හැවිරිදි පුද්ගලයෙකි. චීනයට අමතරව ජපානය, හොංකොං සහ පිලිපීනයෙන් මීට පෙර කොරෝනා මරණය බැගින් වාර්තා විය. චීනයෙන් ද අද තවත් කොරෝනා මරණ 143 ක් සහ ආසාදිතයින් 2600 දෙනෙකු වාර්තා වී තිබේ. වෛරසය පැතිරීම පාලනය කිරීමේ තවත් පියවරක් ලෙස සංසරණයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට තීරණය කර ඇතැයි චීන මහ බැංකුව අද නිවේදනය කළේ ය. පාරජම්බෝල කිරණට නිරාවරණය කරමින් සහ අධික උණුසුම් යන්ත්‍රවලට යොදා දින 14 ක් තැබීමෙන් අනතුරුව මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට නියමිතයි. ඊට අමතරව ජපානයේ යොකෝහමා වරායේ නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින තවත් පුද්ගලයින් 67 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව අද තහවුරු කර ගත්තේ ය. අදාළ නෞකාවේ සිටින සිය පුරවැසියන් ගෙන්වා ගැනීම සඳහා හෙට විශේෂ ගුවන් යානයක් පිටත්කර යවන බව, අමෙරිකාව නිවේදනය කළේ ය. ඒ අනුව මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1500 කට අධිකයි. ලොව පුරා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 67000 කි.