උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

by Staff writer 15-02-2020 | 1:49 PM

COLOMBO ( News 1st ) - රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

උදයංග වීරතුංග මහතා ඊයේ පස්වරුවේ කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය. උදයංග වීරතුංග මහතාව ඊයේ පස්වරු 6.45 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන ආවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඊයේ දිනය පුරා සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. ඊයේ අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට ළඟා වූ උදයංග වීරතුංග මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අයුතු ලෙස මැදිහත් වී රුපියල් කෝටි ගණනාවක් අයතු ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව එල්ල වී තිබුණි. 2007 – 2009 කාලය අතරතුරදී සිදුවී ඇති එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා කිහිපයකදීම විවෘත වරෙන්තු නිකුත් කළේය. මීට පෙර ඔහු අත්තඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඔහු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මුදා හැර තිබුණි.