වූහාන් සිට පැමිණි ලාංකිකයින් නිවෙස් වෙත

වූහාන් සිට පැමිණි ලාංකිකයින් දියතලාවෙන් නිවෙස් වෙත

by Staff writer 14-02-2020 | 10:21 PM

COLOMBO ( News 1st ) - සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස දියතලාව යුද හමුදා රෝහලේ රඳවා සිටි චීනයේ වූහාන් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස අද උදෑසන සිය නිවෙස් බලා පිටත්විය.

මේ මස 01වැනදා වූහාන් නගරයේ සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් රැගන ආ මෙම පිරිස දින 14 ක කාලයක් දියතලාව යුද හමුදා මූලික රෝහල යටතේ අලුතින් ඉදිකල ගොඩනැගිල්ලක රඳවා තිබුණි. ඒ, ඔවුන් විශේෂ නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කිරීම හා රෝග ලක්ෂණ මතුවන්නේදැයි පරික්ෂා කිරීම සඳහායි . ඒ අනුව, අදාළ සති දෙකක කාලය සම්පූර්ණ වීමෙන් පසු මෙම පිරිස අද නිවෙස් බලා පිටත් වීම ආරම්භ කළේ දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ මැදිහත් විමෙනි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් යුධ හමුදා මූලස්ථානයේදී අද පස්වරුවේ යුධ හමුදාපතිවරයා ද හමුවූ බවයි. මේ අතර කොවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇති සංඛ්‍යාව 64,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයින් 1,685 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි. ඒ අනුව, මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 1,383ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් වෛරසය මුල්වරට වාර්තා වූ චීනයේ වූහාන් නගරය වසා දමා අදට දින 23 කි.