by Staff writer 14-02-2020 | 9:46 PM
COLOMBO ( News 1st ) - මධ්‍යම අධිවේගී මාර්ගය හා සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ මාර්ග හා මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ය.
ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් දී ඇත්තේ පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස විවෘත කරන ලෙසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිමකරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදී තිබේ.
කහතුඩුවේ සිට ඇරඹෙන ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 76 ක අධිවේගී මාර්ගය ද කඩිනමින් ඉදිකර අධිවේගී මාර්ග පද්ධතියට එක්කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරයි.
ගාලු පාරේ සහ කඩුවෙල, හයිලෙවල් මාර්ගය හා පිලියන්දල මාර්ගවල උදෑසන කාලයේ කොළඹ දෙසට පවතින දැඩි රථවාහන තදබදය පිළිබඳ විසදුම් සෙවීම කඩිනම් කරන ලෙසට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අධික තදබදයක් ඇතිවන ස්ථාන හදුනාගෙන ගුවන් පාලම් හා උමං පිවිසුම් ස්ථාන ඉදි කරන ලෙසත් දෙමටගොඩ වනාතමුල්ල හරහා බත්තරමුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමේ හැකියාව විමර්ශනය කරන ලෙසත් උපදෙස් දුන් බවයි.
එමගින් බොරැල්ල සහ රාජගිරිය මංසන්ධිවල රථ වාහන තදබදයට විසුම් ලැබෙනු ඇත.
ගාලු පාරේ හා ඩුප්ලිකේෂන් මාර්ගයේ රථ වාහන තදබදයට විසදුමක් ලෙස ගාලු පාරට සමාන්තරව ඇති මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමුකර තිබේ.