දිස්ත්‍රික්ක 2 කට පානීය ජල අර්බුදයක්

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 2 කට පානීය ජල අර්බුදයක්

by Staff writer 11-02-2020 | 1:50 PM

COLOMBO ( News 1st ) - පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂක ජානක හඳුන් පතිරාජ මහතා සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීම මේ වනවිටත් සිදු කෙරෙන බව ය. පානීය ජලය නොමැතිවීමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 10,155 කි. එම ජනතාව සඳහා ද පානීය ජලය ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙන බව ජානක හඳුන් පතිරාජ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. මේ අතර වියළි කාලගුණයෙන් පුද්ගලයින් 236,223 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. ඒ අතර වන පවුල් සංඛ්‍යාව 55,763 කි. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට ය. එම දිස්ත්‍රික්කවල පවුල් 4601 ක පුද්ගලයින් 17,836 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. මේ අතර ඉදිරි දින කිහිපයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, එම ජලාශවල ජල ධාරීතාව 71% ට දක්වා පහළ ගොස් ඇති බවයි. මේ අතර දෛනික විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ ය.