නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

විනිසුරු ගිහාන් පිලපිටිය ගැන අදම පියවර ගන්නැයි නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

by Staff writer 11-02-2020 | 9:31 PM

COLOMBO ( News 1st ) - තම උපදෙස් අනුව අධිකරණයට කරුණු වාර්තාකර වැඩතහනමට ලක්ව ඇති මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අද දිනයේම පියවර ගන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

රන්ජන් රාමනායක මහතා සහ වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදු වූ බව කියන දුරකතන සංවාද මුල් කරගෙන ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා අතර පසුගිය දින කිහිපයේ ලිපි හුවමාරු විය. නීතිපතිවරයා අද වැඩබලන පොලිස්පතිවරයාට යැවූ ලිපියක දන්වා තිබුණේ, නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශය මෙම සිදුවීමට අදාළ අධිකරණ බල ප්‍රදේශය බැවින් එම අධිකරණයට අදම කරුණු වාර්තා කරන ලෙසයි. මෙම සිදුවීමට අදාළව කුමන අධිකරණයක නව නීති කෘත්‍යයක් ආරම්භ කර කරුණු වාර්තා කළ යුතුදැයි නීතිපතිවරයා මීට පෙර යැවූ ලිපියකට පිළිතුරු දෙමින් වැඩබලන පොලිස්පතිවරයා විමසා තිබූ බව අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.