පිලිපීනයෙන් අමෙරිකාවට දැනුම්දීමක්

අමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුම අවසන් කරන බව පිලිපීන රජය දන්වයි

by Staff writer 11-02-2020 | 10:41 PM

News 1st - අමෙරිකානු හමුදාවට පිලිපීනයේ පුහුණුව ලැබීමට අවසර හිමිවන ආරක්ෂක ගිවිසුම අවසන් කරන බව පිලිපීන රජය අමෙරිකාවට දන්වා තිබේ.

සේවය අත්හිටුවීමේ දැන්වීම එක්සත් ජනපද රජයට යවන ලෙස පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටරේට් ඊයේ සිය විධායක ලේකම්වරයාට දන්වා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් විය. ඊට අදාළ ලිපිය මේ වනවිට අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරියා වෙත ලැබී ඇති බවට තොරතුරු වාර්තා වන්නේ ඒ අනුවයි. මෙම ගිවිසුම යටතේ අමෙරිකානු හමුදාවට පිලිපීනයේ පුහුණුව ලැබීමට සහ හමුදාමය කටයුතු සඳහා පිලිපීනයට පැමිණීමට තිබූ හැකියාව අහිමිවේ. පිලිපීන ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ, එම ගිවිසුම ඔස්සේ පිලිපීනයේ ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට බලපෑම් එල්ල වන බව පවසමිනි. දෙපාර්ශවයම අදාළ ගිවිසුම්ගතවීමට එකඟ නොවන්නේ දින 180 කින් පසු ගිවිසුමෙන් ඉවත් වීමට පිලිපීනයට ඉඩ සැලෙසෙනු ඇති. අමෙරිකානු හමුදාවට පිලිපීනයේ පුහුණුව ලැබීමට අවසර හිමිවන මෙම ආරක්ෂක ගිවිසුම 2014 වසරේ දී අත්සන් තැබූවක් ය.