by Staff writer 11-02-2020 | 8:45 AM
COLOMBO (News 1st) : කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.
ඒ ඊයේ චීනයෙන් තවත් මරණ 108 ක් වාර්තා වීමෙන් පසු වෛරසයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1016 ක් දක්වා ඉහළ යාමෙන් පසුවයි.
මේ හමුවේ චීනයෙන් පිටත කොරෝනා වෛරසයේ පැතිරීම, ටිප් ඔෆ් ද අයිස්බර්ග් හෙවත් ජලයේ සැඟව පවතින විශාල අයිස් කුට්ටියක මතුපිට කුඩා කොටසට පමණක් සම කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගත්තේ ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය විශාල ගින්නක් බවට පත්විය හැකි කුඩා ගිනි පුපුරක් පමණක් බවයි .
වසංගතය පාලනයෙන් ගිලිහීමට පෙර මනුෂ්‍ය වර්ගයා කඩිනම් පියවර ගත යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කළේ ය.
ඊයේ දින චීනයේ කොරෝනා වෛරසය අලුතින් ආසාදනයවූවන් 2097 ක් වාර්තා වූ අතර මේ වනවිට චීනයේ වෛරසය ආසාදනය වූවන් සමස්තය 42000 ඉක්මවා ගොස් තිබේ.
චීනය හැරුණුවිට ලොව සෙසු රටවල් 24 කින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් 319 දෙනෙකු පිළිබඳ වාර්තා වන අතර පිලිපීනය සහ හොංකොං දේශයේ පුද්ගලයන් දෙදෙනෙකු වෛරසයෙන් ජීවිතක්ෂයට පත්විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ යොකොහොමා වරායේදී නිරෝධායනයට ලක්කර ඇති මගීන් 3700 කගෙන් යුත් නෞකාවේ තවත් පුද්ගලයන් 65 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හෙළිවූ බවයි.
මේ අතර මෙම වෛරසය පිළිබඳ නිසි විනිශ්චයක් ලබාදීමට ලොව පුරා පර්යේෂණාගාර 168 ක් සතුව අදාළ තාක්ෂණය ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.
වෛරසය පැතිරයාමේ අවදානම හමුවේ යුරෝපයේ මෝටර් රථ සමාගම්වල කොටස් අගය මෙන්ම ආසියාවේ කොටස් වෙලඳපොළ රැසක ද කොටස් අගය පහතවැටිණ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය ගුවන් සේවය ලබන මස අග දක්වා චීනය දක්වා වන සියලු ගුවන් ගමන්වාර නවතා දැමීමට පියවර ගත් බවයි .
වෛරසය පැතිරයාම හමුවේ චීනයේ ප්‍රධාන නගරවල කටයුතු ඇණහිට ඇති අතර ගුවන් ගමන්වාර නවතා පාසල් සහ කර්මාන්තශාලා වසාදැමීමට ද චීනය පියවර ගත්තේ ය.
මේ අතර කොරෝනා වෛරසය පැතිරයාම පිළිබඳ උපදෙස් රැගත් රොබෝ යන්ත්‍රයක් අමෙරිකාවේ ටයිම් චතුරස්‍රයේ ස්ථානගත කර තිබේ.
වෛරසය පිළිබඳ ජනතාවට තොරතුරු සපයමින් උපකාර කිරීම අඩි පහක් උසැති මෙම රොබෝගේ කාර්යයයි.
කෙසේ වෙතත් මෙම රොබෝට වෛරසය ආසාදනය වූවන් හඳුනාගැනීමට හැකියාවක් නොමැත.