විදුලි බල ගැටලු දෛනිකව විමර්ශනය කිරීමට කමිටුවක්

විදුලි බල ගැටලු දෛනිකව විමර්ශනය කර වාර්තා කිරීමට කමිටුවක්

by Staff writer 10-02-2020 | 7:01 PM

COLOMBO (News 1st) - විදුලි බල ගැටලු දෛනිකව විමර්ශනය කර වාර්තා කිරීමට 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විදුලි බල අමාත්‍යාංශය නියෝජනය කරමින් අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද එම කමිටුවට විදුලි බල අමාත්‍යාංශයේ එක් නිලධාරියෙක්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙක් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් දෙදෙනෙක් ඇතුළත් බවයි. අද දින පෙරවරුවේ අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් පැවැති අතර විදුලිබල උත්පාදනයේදී දෛනිකව මතුවිය හැකි ගැටලු සමාලෝචනය සඳහා අමාත්‍යවරයා විසින් ඉහත කමිටුව පත් කරනු ලැබිණි. ඔවුන් විසින් දෛනිකව විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ විදුලිය උත්පාදනයට සම්බන්ධ වන සමස්ත ආයතන සමාලෝචනය කළ යුතු අතර දෛනිකව ඒ පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුයි. තව ද විදුලි බලය සම්බන්ධයෙන් පැන නගින ඕනෑම ගැටලුවක් මහජනතාවට හිංසාවන පරිදි කිසිදු තීරණයක් නොගන්නා ලෙසත්, ගැටලුවක් පවතින්නේනම් ඒ පිළිබඳව වහාම තමාව දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා විසින් අදාළ අමාත්‍යාංශ වෙත දැනුම් දෙනු ලැබ තිබේ. මේ අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සහ අමාත්‍යාංශයේ ලේකම්වරිය ද සහභාගි වී සිටියේ ය.